hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 ජූනි 16, පෙ.ව. 12:10



ඝාතන සිද්ධියක සැකකරුවකු ලෙස රක්ෂිත බන්ධනාගාරගතවී සිටියදී 2004 වසරේ සුනාමි ඛේදවාචකය දා පළාගිය සැකකරුවෙකු වසර 19කට පසුව පොලිස් අත්අඩංගුවට ගැනීමේ පුවතක් රාගමින් වාර්තා වෙනවා.

අත්අඩංගුවට පත්වන විට ඔහු ඝාතන සිදුවීමට වැරදිකරු වී මරණ දඬුවම නියම වූ චූදිතයෙකු වී සිටියා.

2001 වසරේ දෙසැම්බර් මාසයේදී රාගම තලගොල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාගම පොලීසිය විමර්ශනයක් සිදු කළා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පසුව ඔවුන්ව මීගමුව බන්ධනාගාරයේ රඳවා තැබුණා.

ඒ අතරතුර කාලයේදී 2004 වසරේ ඇතිවූ සුනාමියෙන් එම බන්ධනාගාරයට දැඩි හානි සිදුවීම නිසා, එහි රැඳවියන් මහර බන්ධනාගාරයට යොමුකිරීමට එවක පාලනාධිකාරය කටයුතු කළා.

ඒ අනුව, එහි රැඳවියන් මහර බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස් රථයකින් රැගෙන යන අතරතුරදී, අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතවී සිටි සහෝදරයන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකු බසයෙන් බැස පළාගොස් තිබුණා.

ඒ අනුව එම සැකකරු නොමැතිව ගම්පහ අධිකරණයේ දීර්ඝ නඩු විභාගයක් පැවැති අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ඉකුත් 2012 වසරේ මැයි 10 වනදායි.

එමගින්, රක්ෂිත බන්ධනාගාරගතවී සිටි සැකකරු නිදොස් කොට නිදහස් කර, පළාගිය සැකකරුට මරණ දඬුවම නියම කිරීමට අධිකරණය තීන්දු කළා.

ඒ අතරවාරයේ, පළාගිය සැකකරු වසර 19කට ආසන්න කාලයක් විවිධ ප්‍රදේශවල සැඟව සිටිමින් ජීවිතය ගෙවා ඇති අතර පෙරේදා පස්වරුවේ රාගම කුරුස හන්දිය ප්‍රදේශයට පැමිණ ඇත්තේ කලකට පසුවයි.

ඒ අනුව ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ රාගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුව අත්අඩංගුවට ගත්තා.

මේ වනවිට 54වන වියෙහි පසුවන සැකකරු අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

අද (15) දිනයේදී ඔහුව මරණ දඬුවම නියම කළ ගම්පහ මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත්, එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් එහිදී වත්තල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියම කළා.