hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 08, ප.ව. 12:53



පසුගියදා හික්කඩුව පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් හික්කඩුව නාරිගම ප්‍රදේශයේ දී පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණයේ පාපැදි සොරකමක් පිළිබඳව කරුණු අනාවරණය කරගැනීමට හැකි වී තිබෙනවා.

හික්කඩුව පොලීසියේ නිළධාරීන් පිරිසක් විසින් නාරිගම ප්‍රදේශයේ ජංගම මුරසංචාරයේ යෙදෙමින් සිටින විට සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයකු නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති පුද්ගලයකු බවත් ඔහු විසින් සිදුකර තිබූ මහා පරිමාණයේ පාපැදි සොරකමක් පිළිබඳවත් කරුණු අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

33 හැවිරිදි සැකකරු ගාල්ල බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙස ලිපිනයක් ලබා දුන්නද එය ස්ථිර ලිපිනයක් නොවන බවද පොලීසිය පවසයි.

විවාහක පුද්ගලයකු වුවද බිරිදගෙන් වෙන් වී තැනින් තැන යමින් ජීවත්වන සැකකරු අධික ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර සැකකරු විසින් සොරකම් කළ පාපැදි 11 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම තමන් විසින් සොරකම් කරනු ලැබූ පාපැදි අඩු මිළ ගනන් යටතේ විකුණා එම මුදල් වලින්ද මත්ද්‍රව්‍ය පානය කල බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීමේදී පිළිගෙන තිබෙනවා.

සැකකරු 7 වන ඉරිදා ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.

හික්කඩුව – බුද්ධික වීරසිංහ