hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 26, ප.ව. 12:40



දුරකථන ඇමැතුමක් ගනිමින් දුම්රිය මාර්ගයේ  ගමන් කළ තරුණයන් දෙදෙනකු ඊයේ (25) පෙරවරු 5.45ට පමණ වඳුරව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් මරණයට පත්ව ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ පදිංචිව සිටි කවිෂ්ක ලක්මාල් (18) සහ එස්.ඒ. තිවංක (19) නමැති තරුණයෝ දෙදෙනෙකි. මියගිය තරුණයන් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර විනෝද චාරිකාවක් යෑමට  උදෑසනම  සූදානම් වී වඳුරව දුම්රිය ස්ථානය දෙසට  දුම්රිය මාර්ගය ඔස්සේ  පාගමනින් ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි ශීඝ්‍රගාමී දුම්රියක ගැටී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

දෙදෙනා දුරකථන ඇමැතුමක යෙදෙමින් ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ පිටුපසින් පැමිණි  බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

නියමිත මාර්ගයේ කොළඹ කොටුව බලා දුම්රියක් ගමන් කරමින් තිබියදී  බදුල්ල  සිට කොළඹ  කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය පැමිණ ඇත්තේ අනෙක් දුම්රිය මාර්ගයේ බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. 

එම මාර්ගයේ දුම්රියක් නොඑනු ඇතැයි යන විශ්වාසයෙන් තරුණයන් දෙදෙනා ගමන් කරන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරනවා.

අනතුරෙන් පසු  මියගිය තරුණයන් දෙදෙනාගේ දේහ අනතුර සිදුවූ දුම්රියෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ගෙන එනු ලැබුවා.

අනතුර පිළිබඳව  වේයන්ගොඩ පොලිසිය අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග මත වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සිද්ධිය පිළිබඳ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා ස්ථානීය පරීක්ෂණය පැවැත්වීමට පියවර ගැනුණා.

මියගිය තරුණයන් දෙදෙනාගේ දේහයන් වතුපිටිවල මූලික රෝහල වෙත රැගෙන ගිය අතර  එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.