hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 14, ප.ව. 6:23



මෙරට  ඉතාලි තානාපති කාර්‍යාලයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවකගෙන් රුපියල් හාරලක්ෂ හත්දහසක මුදලක් වංචා  සහගත ලෙස ලබාගත් පුද්ගලයෙකු කටුනායක අධිවේගී මාර්ගය අසලදී අද (14) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු භාරයේ තිබී ඉතාලි තානාපති කාර්යාලයෙන් නිකුත් කරන ලද විශේෂ ස්ටිකර් එකකට සමාන ස්ටිකර් 27 ක්, ව්‍යාජ මුද්‍රා සහ ලිපි ලේඛන තොගයක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඉතාලි තානාපතිවරයාගෙන් ලද පැමිණිල්ලක් අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නුවරඑළිය ප්‍රදේශයේ කාන්තාවක් ඉතාලි යාම සඳහා අවශ්‍ය ලිපි ලේඛන තානාපති කාර්යාලය වෙත ඉකුත් පෙබරවාරි 23 දින යොමු කර තිබූ අතර මාස කීපයක් ගත වුවද ඊට කිසිදු ප්‍රතිචාරයක් තානාපති කාර්යාලයෙන් නොලැබීම හේතුවෙන්  එම කාන්තාව තානාපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදී  සැකකාර පුද්ගලයා මුණ ගැසී තිබූ බවත් එම අවස්ථාවේදී සැකකරු තමන් තානාපති කාර්යාලයේ සේවය කරන අයකු බවට හඟවා කඩිනමින් ඇයගේ අවශ්‍යතාවය ඉෂ්ට කර දීමට  හැකි යැයි පවසා එකී මුදල ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එම කාන්තාවගේ සැමියා ද ඉතාලිය රටේ වෙසෙන අතර ඇයව ගෙන්වා ගැනීම සඳහා වීසා අවසර පත්‍රය ඉකුත් 09 වැනි දින යොමු කර තිබූ බවද පොලිසිය කියයි.

දිනෙන් දින තානාපති කාර්යාලයෙන් තමන්ගේ ලිපිගොනුවට අනුමැතිය ලබා දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් එම කාන්තාව මීට දින කිහිපයකට පෙර තානාපති කාර්යාලය වෙත පැමිණ සිදු කළ සොයා බැලීමේදී එම කාර්යාලය අසලදී හමු වූ පුද්ගලයා එහි සේවය කරන අයෙකු නොවන බවට අනාවරණය වී තිබූ බව පොලිස් නිලධාරියකු පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ