hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 29, ප.ව. 8:32



බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් ත්‍රිරෝද රථයක් අසලට පැමිණි වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවෙකු ඔසවා පොළොවේ ගැසූ බව කියන සිද්ධියකට සම්බන්ධ 44 හැවිරිදි අයෙකු ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක මහත්මිය නියෝග කළා.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත්තේ දඹුල්ල  කණ්ඩලම  කැප්පැල ප්‍රදේශයේ   පදිංචි ඩබ්ලිව්.එම් .පි .අජිත්  වර්ණසූරිය නොහොත් සමන්ත නමැති පුද්ගලයකු බව දඹුල්ල පොලීසිය පැවසුවා.

වයස අවුරුදු හතර හමාරක් වූ දරුවෙකු පුද්ගලයකු විසින් පොළොවේ ගසා තුවාල සිදු වීමත් සමඟ මෙම දරුවා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම දරුවා පිළිබඳව දඹුල්ල රෝහල් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂණයක් සිදුකොට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා..

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මව සහ පියා මෙන්ම දරුවාගේ සීයා සමග කණ්ඩලම ප්‍රදේශයේ නිවසේ රැඳී සිටින අවස්ථාවේ මාර්ගයේ චූංපාන් ත්‍රිරෝද රථයක හඬ ඇසී මෙම කුඩා දරුවා තම සීයාගෙන් බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලාගෙන මාර්ගය අසලට දිව ගොස් ඇති බවයි.

පසුව එම ස්ථානයේ බීමතින් සිටි අයෙකු මෙම කුඩා දරුවාට බැන වැදී චුන් පාන් ගැනීමට මුදල් කොහේ දැයි විමසා එකවරම ඔසවා පොළොවේ ගැසූ බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන්  උප පොලිස් පරීක්ෂක  ප්‍රියානි රණතුංග මහත්මිය සහ පොලිස් සැරයන් 23 287 විජේරත්න යන  නිලධාරීහු  පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියා.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.කේ.ඇල්ලේපොල මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස්  පරික්ෂිකා ඒ.ඩබ්ලිව්.නිලුකා ගයන්ති මිය ඇතුළු පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වනවා.