hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 15, ප.ව. 3:12



යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ 70 හැවිරිදි මවක් නිවස තුළ ඝාතනය කොට හමුදා නිලධාරියාගේ මෝටර් රථය පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

වයර් කැබැල්ලක් උපයෝගී කරගෙන ගෙල සිරකොට ඝාතනය කොට ඇත්තේ අයි.එල්.පියසීලී නම් තිදරු මවක්.

ඝාතනයට ලක්ව ඇති මවගේ  දියණියක් විසින් ගලේවෙල මකුලුගස්වැව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත ස්ථාන පරීක්ෂාව සිදු කිරීමෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

ඒ අනුව දැනට සිදුකරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ යුද හමුදාවේ සේවය කරන පුතුගේ මෝටර් රථය නිවස ඉදිරිපිට නවතා තිබූ බවත් මවගේ ගෙල සිර කොට ඝාතනය කිරීමෙන් අනතුරුව එම මෝටර් රථය පැහැර ගෙන ගොස් තිබෙන බව මකුලුගස්වැව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බි.එන්.සිරිවර්ධන මහතා සඳහන් කළා.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර  මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස