hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 07, පෙ.ව. 9:35



ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ මිනීමැරුමක් සිදු කර ඩුබායි වෙත පලා යෑමට පැමිණි යුවළක් ඉකුත් 30 වනදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

එමිරේට්ස් EK 653 ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා යෑමට සූදානම්ව තිබිමේදීයි.

මේ අතරතුර ගුවන් තොටුපොළ භාර ස්ථානාධිපති සේනාධීර වෙත කිසියම් තොරතුරක් ලැබි තිබෙනවා.

“සර් අපි ට්‍රැවල් බෑන්ඩ් එකක් දාපු නුවන් කියන කෙනායි මිනිහගේ ගෑනියි දැන් යන්න තියෙන ඩුබායි ප්ලයිට් එකට නඟින්න කවුන්ටරේට ඇවිත් ඉන්නවා”

ලැබුණු තොරතුරු අනුව වහා ක්‍රියාත්මක වූ ගුවන් තොටුපොළ පොලිස් ස්ථානාධිපතිවරයා කණ්ඩායමක්ද සමඟින් ගොස් සැකකරු සහ බිරිය අත්අඩංගුවට ගත්තේ ඔවුන් ඩුබායි බලා යෑමට විනාඩි ගණනකට මත්තෙන්.

ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා නුවන් බව අනාවරණය කරගත් නිලධාරීන් ඔහු සහ ඔහුගේ බිරිය දැඩි ආරක්ෂක රැකවරණය මැද ගල්කිස්ස පොලිසිය වෙත භාරදෙනු ලැබුවා.

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ක්ෂණිකව එවන් තීරණයක් නොගත්තේ නම් නුවන් සහ ඔහුගේ බිරිය මේ වනවිට සිටින්නේ ධර්මේ සමඟ ඩුබායි රාජ්‍යයේ.

“ඇයි උඹ චරිත්ව මැරුවේ” විමර්ශන නිලධාරීහු නුවන්ගෙන් විමසා තිබෙනවා.

ඩුබායි බලා පැනයෑමේ බලාපොරොත්තුවද සුන් කරගෙන සිටි නුවන් ඒ වනවිට සිටියේ දැඩි අසරණවයි.

චරිත් ඝාතනය කිරීමට හේතුව ඔහු එකක් නෑර පවසා සිටියේ වෙන කරන්නට කිසිම දෙයක් නොවූ නිසා.

නුවන්ගේ බිරිය ළාබාල වියේ පසුවූ රූමත් තැනැත්තියක්.

දිනක් ඇය මුණගැසුණු චරිත් ඇයට අනවශ්‍ය වචන කියමින් කතා කරන්නට වුණා.

ඇය මේ බව සිය සැමියා වූ නුවන්ට පවසා තිබුණා.

මින් කිපුණු නුවන් ඇයද සමඟ චරිත්ගේ ගෙදරට ගියේ බිරියට අනවශ්‍ය විහිළු කිරීම ගැන චරිත්ගෙන් විමසන්නට වුණා.

ඒ මොහොතේ චරිත්, නුවන්ට සහ බිරියට බැන වැදී ඇති අතර ඒ මොහොතේ නුවන් ඩුබායි රටේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ධර්මේ නමැත්තාට දුරකථන ඇමැතුමක් ගෙන චරිත් ඉදිරිපිටම ධර්මේට සියල්ල පවසා තිබෙනවා.

“දීපන් ෆෝන් එක චරියට”

ධර්මේ නුවන්ට කිව්වා. නුවන් දුරකථනය චරිත්ට දුන්නා.

“මේ මොකද උඹට වෙලා තියෙන්නේ. උඹ හිතුවේ අපි මැරිලා කියලද. අපි තවම ජීවත් වෙනවා. උඹලා යාළුවෝ නේද. උඹ පාඩුවේ ඉඳපන්. ඕවා දුරදිග ඇදගෙන යන්න එපා දන්නවනේ…”

ධර්මේ එසේ කියා තර්ජනයක්ද කර තිබිණි. ඉන් කෝපයට පත් චරිත් ධර්මෙගෙ වචනෙ ගණනකට නොගෙන නුවන්ට පහරක් ගසා තිබෙනවා. නුවන් පසුව මේ බව ඩුබායි ධර්මෙට පවසා සිට තිබෙනවා.

“හරි. ඉඳපන් ඕකට හොඳ වැඩක් කරමු”

ඒ අනුව ධර්මේගේ උපදෙස් මත චරිත් ඝාතනය සැලසුම් කර තිබෙනවා.