hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 12, ප.ව. 4:07



පාසල් වයසේ පසුවන පිරිමි ළමයින් රවටා ගෙන ඔවුන් සමඟ විවිධ ලිංගික කටයුතුවල නිරත වෙමින් ඒවා වීඩියෝගත කර ජාත්‍යන්තර වෙබ් අඩවිවලට සහ විදේශිකයන්ට විකුණු බව කියන හබරාදූව උණවටුවේ මැටරඹ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන  කපුවෙක් යැයි කියා ගන්නා අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (10) සවස අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ 23දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගර ගත කර ඇත්තේ කීර්ති කුමාර බටගොඩ නැමැති අයෙක්.

එසේ දරුවන් සමඟ ඔහු ලිංගික කටයුතුවල නිරතව සිටින බව කියන වීඩියෝ දර්ශනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා.

විමර්ශනවලින් දරුවන් 09 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර එම දරුවන් දකුණේ ප්‍රසිද්ධ පාසල් දෙකක් ඇතුළු පාසල් කීපයක අධ්‍යාපනය හදාරන වයස අවුරුදු 09ත් 15ත් අතර පසුවන්නන් බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

අතුරුගිරියේ සහ කැස්බෑවේ පදිංචි දරුවන් දෙදෙනෙක්ද ඒ අතර සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනාවරණය වූ තොරතුරු පමණක් බවත් මෙසේ තවත් දරුවන් විශාල පිරිසක් මොහුගේ ගොදුරු බවට පත්ව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක කරයි.

දරුවන්ට මේ අපරාධය ඔහු විසින් කර ඇත්තේ දේවාලය පිටුපස තට්ටු ගොඩනැඟිල්ලක ඇති කාමර සහ හෝටල් කීපයකදී බව විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

ඊට අමතරව ඔහුට අයත් අතුරුගිරියේ පිහිටි සුවිසල් නිවසේදීද මේ අපරාධයට දරුවන් ගොදුරු වී ඇති බව සැක කරයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (11) අතුරුගිරියේ පිහිටි එම නිවෙසද පරීක්ෂාවට ලක්කර සැක කටයුතු භාණ්ඩ කීපයක්ද සිය භාරයට ගෙන තිබෙනවා.

එම නිවෙස ඔහු මිලදී ගෙන ඇත්තේ මෙවන් කටයුතු සඳහා බවද පෙනී ගොස් තිබෙනවා.

මොහු රූපවාහිනී නාලිකා වෙත විශාල මුදලක් වියදම් කර තමා ගැන හා දේව හාස්කම් ගැන වැඩසටහන් පවත්වන බවත් එම වැඩසටහන්වලට සහභාගිවීමට කොළඹ පැමිණෙන අවස්ථාවලදී ඔහු නවාතැන් ගන්නේ අතුරුගිරියේ පිහිටි නිවෙසේ බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

මේ පුද්ගලයා කෝටි ගානක මුදලක් වැය කර පෙරහරක් පවා සංවිධාන කරන බවත් ප්‍රබල දේශපාලනඥයන් මෙන්ම පොලීසියේ ඉහළ නිලධාරීන් රැසක්ම ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

ඔහුගේ ආරක්ෂාවට පමණක් පෞද්ගලික ආරක්ෂකයන් 10ක් පමණ තබාගෙන සිටින බවත් ඔහු ගමන් ගන්නේද ප්‍රභූවරයෙක් මෙන් වාහන පිරිවරාගෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

දේවාලයට සිය මව්පියන් සමඟ සෙත් ශාන්ති කර ගැනීමට පැමිණෙන දරුවන් මෙන්ම ඔහුගේ දේවාලය අවට පදිංචි දරුවන්ද ඔහු මෙසේ ගොදුරු බවට පත්කරගෙන ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

දරුවන්ට ඇපල්, අයි ෆෝන් සහ ටැප් පරිගණක තෑගි කරමින් මේ අපරාධය කරගෙන ගොස් තිබෙන බවද අනාවරණය වී තිබෙනවා.

මෙසේ දරුවන් සමඟ ඔහු එකට සිට ගන්නා වීඩියෝ දරුවන්ටද දෙමින් මිතුරන්වද ඊට සම්බන්ධ කර ගන්නා ලෙස දැනුම් දෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.

“අයිෆෝන්, ටැබ් වගේ දේවල් දෙනව කිව්වම පුංචි දරුවෝ රැවටෙනවා. මේ මිනිහා පුංචි දරුවන් මේ අපරාධයට යොමු කරගෙන ඇත්තේ ඒ විදිහටයි“ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.

දකුණේ ප්‍රසිද්ධ පිරිමි පාසලක ප්‍රාථමික අංශයේ දරුවකු පසුගිය දිනක පාසලට රැගෙන ගිය අයිෆෝන් එකකින් එම වීඩියෝවක් තවත් දරුවකු සමඟ නරඹමින් සිටියදී එය වැඩිහිටි සිසුවකුට හසුවී ඇති බවත් එම වැඩිහිටි සිසුවා ඒ ගැන පොලිස්පතිවරයාට කළ දැනුම්දීමකට අනුව පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව විසින් මේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළා.

මේ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රාශියක් හෙළි වී ඇති අතර ඔහු මේ වීඩියෝපට අලෙවි කළ විදේශිය පුද්ගලයන් සහ වෙඩ් අඩවි සම්බන්ධයෙන් වැඩි තොරතුරු අනාවරණය කර ගැනීමට ජාත්‍යන්තර පොලීසියේද සහාය ලබාගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.

මේ පුද්ගලයා පාතාල අපරාධකරුවන්ට වෙඩි නොවදින සුරයැයි පවසමින් සුර සකස් කර දෙන බවද කියයි. එසේ ඔහුට රුපියල් ලක්ෂ 37ක් දී සුරයක් සකස් කර ගත් අපරාධකරුවකු මෙයට වසර දෙකකට පමණ පෙර පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවටද පත්ව තිබුණි. මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු වන කැවුමා නැමැති මත්කුඩු ජාවාරම්කරුට ඔහු එම සුරය සකසා දී තිබුණා.

ඒ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක් පවා සටහන් කරගෙන තිබෙනවා.

මොහු විවාහකයකු වන අතර දෙදරු පියෙක්.

මිය ගිය සිය පියාගෙන් ලද ශක්තියකින් ඔහු දේව වැඩ කරන බව කියයි.

පියාගේ සොහොන ඇත්තේද ඔහු දේවාලය පවත්වාගෙන යන නිවෙසේ මිදුලේය.

සියලු අණවින කොඩිවින සෙත්ශාන්ති කරනුයේ එම සොහොන මත සිට බවද කියයි.