hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 03, ප.ව. 9:18



අතුරුගිරිය ගොඩගම පාර ප්‍රදේශයේ එනම් අතුරුගිරිය පොලිසියේ සිට මීටර් සියයක් පමණ දුරින් පිහිටි ලී මඩුවක් තුළ තියුණු ආයුධයකින් පහර දී ඊයේ පස්වරුවේ එහි හිමිකාර කාන්තාව ඝාතනය කර තිබෙනවා.

ඒ ලී මෝල පිහිටි කාර්යාලය තුළදී.

පොලිසිය පැවසුවේ අදාළ කාන්තාවගේ මුහුණට හා මුඛයට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය කර ඇති බවයි.

පොලිසියට ලද තොරතුරකට අනුව සිරුර සොයා ගන්නා විටත් ඇයගේ මුඛය තුළ ඝාතනය සඳහා භාවිත කළ පිහිය සිරවී තිබී ඇති බවයි වාර්තා වන්නේ.

එම ලී මඩුවෙහි පසුපස කොටසේ තවත් පුද්ගලයෙකු සිහිසුන්ව වැටී සිටියදී සොයාගත් අතර පොලිසිය ඔහුවද රෝහල් ගත කර තිබෙනවා.

ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් ප් රතිකාර ලබනවා.

පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයාගේ හිස් පසුපසට දැඩි තුවාල සිදුව ඇති බවයි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර, දකුණ අපරාධ කොට්ඨාශය හා අතුරුගිරිය පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ මියගිය කාන්තාව හැට දෙහැවිරිදි මංගලිකා මහවත්ත නම් කාන්තාවක් වන අතර තුවාල ලබා රෝහල් ගත කර සිටින පුද්ගලයා එහි වඩු කාර්මිකයෙකු වන මයිලන්ගම ප්‍රදේශයේ පදිංචි පනස් දෙහැවිරිදි අයෙකු බවයි.

මියගිය කාන්තාව ඊයේ පෙරවරු අටට පමණ අදාළ ලී මෝල වෙත පැමිණ ඇති අතර මෙම සිදුවීම ඊයේ දහවල් 11ත් 2ත් අතර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

ඝාතනයට පෙර ඇය යම්කිසි ව්‍යාපාර ගනුදෙනුවක්ද සිදුකර ඇතැයි පොලීසියට අනාවරණ වී තිබෙනවා.

ඝාතකයා එහිදී තුවාල ලැබූ පුද්ගලයා පසුපස එළවාවිත්, ලී මඩුව පසුපස දී ඔහුගේ හිසට පහර දී ඇත්තේ ඔහු තමාව හඳුනා ගැනීම නිසා විය හැකි බවටයි පොලීසිය සැක කරන්නේ.

කෙසේ වෙතත් ඝාතකයන් හෝ ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

එමෙන්ම ඝාතකයා කිසිවක් කොල්ලකා නොමැති බවටද වාර්තා වනවා.

ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කල පොලීසියට කිසිඳු සැක සහිත පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හඳුනා ගැනීමටද මෙතෙක් හැකි වී නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා මෙසේ සඳහන් කළා,

“මෙතෙක් සැකකරු කවුද කියලා හඳුනාගෙන නැහැ. මෙතෙක් හඳුනාගෙන නැහැ කුමන ආකාරයකටද මෙය සිද්ධ කරලා තියෙන්නේ. ඇයි මෙය මේ ආකාරයට මෙම ඝාතනය සිද්ධ කළේ. මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. සැකකටයුතු පුද්ගලයන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන්. බොහෝ විට විශ්වාස කරන්නේ පෞද්ගලික ආරවුලක් කියලා. නමුත් එය ස්ථිරව කියන්නට බැහැ.”