hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 09, පෙ.ව. 11:08



වතුසේවක සැමියා වැඩට ගිය පසු නිවෙසේ එල්ලී මිය ගොස් සිටි අම්මාගේ දෙපා අල්ලාගෙන අවුරුදු එකහමාරක දරුවකු දිගින් දිගටම හඬද්දී එම හඬ අසා පැමිණි අසල්වැසියන් මවගේ මළ සිරුර සොයා ගත් පුවතක් ගම්පොල පුපුරැස්ස පොලිස් වසමෙන් ඊයේ (08) වාර්තා වුණා.

පුපුරැස්ස ඩේල්ටා වත්ත උතුරු කොටසේ පදිංචිව සිටි විසි දෙහැවිරිදි එක් දරු මවක් මෙසේ මියගොස් තිබෙනවා.

එස්. ස්වර්ණා නමැති මෙම මව නිවෙස තුළ කිසිවකුත් නොමැති අවස්ථාවක රෙදි කැබැල්ලකින් නිවෙස තුළ එල්ලී මිය ගොස් තිබී ඇත්තේ කැසට් රෙකෝඩරය ද මහ හඩින් දමාගෙනයි.

එයින් නැඟෙන ගීත හඬ පරයමින් කුඩා දරුවකු බොහෝ වේලාවක් හඬන අයුරු ඇසුණු අයකු ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම කාන්තාව වහලයේ එල්ලී සිටින අයුරුත් දරුවා ඇගේ දෙපා අල්ලා ගෙන හඬන අයුරුත් දැක අවට සිටින පිරිසට ඒ බව දන්වා තිබෙනවා.

ඔවුන් පැමිණ වහාම රෙදි පොට කපා ඇය බිමට ගෙන එම වත්තේ වෛද්‍යවරියට මෙය දැන්වීමෙන් පසු ඇය පැමිණ මෙම කාන්තාව මිය ගොස් ඇති බව දන්වා තිබෙනවා.

ඒ අනුව පුපුරැස්ස පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී ඇය දරුවාට ඉංග්‍රීසියෙන් ලියූ ලියුමක් ද හමුවී තිබෙනවා.

“රත්තරනේ ඔයා පරිස්සමට. මම යනවා. මීට මමා” යැයි එම ලිපියේ සඳහන්ව තිබී තිබෙනවා.

මෙම කාන්තාවගේ සැමියා එම වත්තේ සේවකයකු වන අතර ඔහු මෙම මරණයට හේතුව නොදන්නා බව පවසා තිබෙනවා.

ගම්පොල වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය එම ස්ථානයට ගොස් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය රෝහල වෙත රැගෙන යන ලෙස දන්වනු ලැබුවා.

එම පරීක්ෂණය ඊයේ (08) සිදු කිරීමට නියමිතව තිබුණා.

ගම්පොල ස්ථානීය අපරාධ පරීක්ෂණ අංශයේ උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙහි විද්‍යාත්මක පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

පුපුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝරංජන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති මංජුල සේනාරත්න ඇතුළු කණ්ඩායමක් මෙහි පරීක්ෂණ සිදු කරනවා.