hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 12, පෙ.ව. 12:24



දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවකට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් ඇය බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇගේ ඥාතීන් චෝදනා කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් කළ මෙහෙයවීමකට අනුව මෙම පහරදීම සිදුකර ඇති බවයි.

පහරදීම සිදුකර පලා යාමට උත්සාහ කළ සැකකරුවන්ව අසල්වාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබෙනවා.

දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකට පහරදීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබුණේ ඊයේ රාත්‍රියේදීයී.

ෆාතිමා රිස්වාන් නමැති එම කාන්තාව එම නිවාස සංකීර්ණයේ අටවෙනි මහලේ පදිංචිව සිටින අතර, ඇයට දුරකථන ඇමතුමක් දී මෙම ස්ථානයට කැඳවාගෙනවිත් තියුණු ආයුධවලින් පහර දී තිබුණා.

ෆාතිමාගේ සහෝදරියක් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කණ්ඩායමක් විසින් මෙම පහරදීම මෙහෙයවා ඇති බවයි.

ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන්නේ යැයි පවසමින් සිය සහෝදරියට පහරදුන් බවද ඇය සඳහන් කළා.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබු ෆාතිමා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පහරදීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයෙන් පලා යෑමට තැත් කිරීමේදි අසල්වාසීන් විසින් ඔවුන් අල්ලාගෙන පොලිසියට භාර දී තිබුණා.

කෙසේවෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මෙම පුද්ගලයින්ට පක්ෂග්‍රාහීව දෙමටගොඩ පොලීසිය ක්‍රියාකරන බවට එහි සිටි පිරිස චෝදනා කිරීමත් සමග නොසන්සුන් තත්ත්වයක් හටගත්තා.

අනතුරුව පහරදීම සිදුකළ පුද්ගලයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථයකින් රැගෙන ගියා.