hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 ජූනි 16, පෙ.ව. 9:53



“මම මේ කිසිම දෙයකට දුක්වෙන්නේ නැහැ මම එයාට කරපු දේවල් මමයි දන්නේ. මට ආපු කේන්තියට මම මොනවා කළාද දන්නේ නැහැ සර්. ඕකි ජීවත් වෙලා වැඩක් නැහැ සර්. ඕකි මරන්නම ඕනි…” ඌරුබොක්ක, දම්පහළ මහා විද්‍යාලයේ ආචාර්යවරියකගේ ගෙල කපා ඝාතනය කිරීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් ඇගේ පෙම්වතා සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරියේ එසේ පාපෝච්චාරණයක් කළා.

සැකකරු සිය පෙම්වතිය මරා ගසක් උඩ නැඟ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති අතර පසුව පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත ඔහු ගසෙන් බැසීමෙන් පසුව අත්අඩංගුවට ගැනුණා.

“මම එයාට හැම දෙයක්ම දුන්නා. කැම්පස් යන කාලේ බෝඩිමත් හොයලා දුන්නේ මම. රස්සාවට අඳින්න සාරි අරන් දුන්නෙත් මම. අද එයා ඇඳගෙන ආවෙත් මම අරන් දුන්න සාරියක් සර්..එයා මම අරන් දුන්න සාරිය ඇඳගෙන වෙන කොල්ලෙක් එක්ක යනවා මට අහුවුණා. මම කිව්වා එහෙම කරන්න එපා. ඒක නතර කරන්න කියලා. ගෙවල් දෙපැත්තෙන්ම මට කැමැති වෙලයි හිටියේ… මම ඒ සම්බන්ධය දැනගෙන එයාගේ තාත්තට ගිහින් කිව්ව සර්. තාත්තා මට බත් පිඟානෙන්ම ගැහුවා.”

“පස්සේ පස්සේ මෙයා මාත් එක්ක කතා කළේම නැහැ. ෆෝන්වලට ආන්සර් කළේ නැහැ. මට ඇඟේ සුදුකබර ලෙඩේ ඇති වුණා. ඒ නිසා මට හිතුණා ඒකිට මාව එපා වුණා කියලා. මම එයාට හැම දෙයක්ම අරන් දුන්නා. මම හම්බකරලා ගන්න සල්ලිවලින් එයාට සාරි 10ක් විතර අරන් දීලා ඇති. එහෙම කරපු මට, මාව මඟඅරින්න හැදුවා. මම එදා පිහියත් ඉණේ ගහගෙන ආවේ. එදත් මෙයා ඉස්කෝලේ ඇරිලා යනකොට ෆෝන් එකෙන් කතා කර කරයි ආවේ. මට සැක හිතුණා. මම ළඟට ගිහින් ෆෝන් එක ඉල්ලුවා. ඒත් එයා දුන්නේ නැහැ. ඒක බෑග් එකේ දාගත්තා. මට ආව කේන්තිය කියන්න බැහැ සර්. ඒකි ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතුවා.” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

සැකකාර පෙම්වතා ඇයට පිහිපහර එල්ල කර ඇත්තේ ඉන් පසුවයි.

ඇගේ කෙස්වල්ලෙන් අල්ලා මුල් පිහි  පහර ඔහු ඇගේ ගෙලට එල්ල කර තිබෙනවා.

ගෙල ගැඹුරටම කැපී ගොස් ඒ සමඟම ඇය බිම ඇදගෙන වැටී තිබෙනවා.

ඉන් අනතුරුවද ඔහු ඇයට පිහිපහර දෙකතුනක් එල්ල කර පසුව ඔහු එතැනින් පිටව යන්නට උත්සාහ කර නැවත ඇය දෙස හැරී බලා තිබෙනවා.

හත්පොළකට පිහි ඇනුම් කා මෙසේ මියගියේ ඌරුබොක්ක, කිරිපිටිය, පොල්පැලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි සිතාරි මධුමාලි නමැති අවිවාහක තරුණියක්.

සැකකරු විසින් ඇයට පිහිපහර එල්ල කිරීමේදී ඇය මරළතෝනි දී ඇති අතර අවට පිරිස් ඇය රෝහලට ඇතුළු කරන විටත් ඇය මියගොස් තිබූ බවද පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් සැකකරු ඇයට පිහිපහර එල්ල කර ඇත්තේ තවත් මිතුරකු සමඟ මත්පැන් පානය කිරීමෙන් පසුව බවත් අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට ලක්වූ තරුණිය පවුලේ බාලයායි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මාතර සහකාර පොලිස් අධිකාරි (6) ලාල් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී. පී. ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පතිරත්න ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.