hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 19, ප.ව. 12:15



අම්බලන්තොට කොග්ගල්ල උතුරු කඩවර ප්‍රදේශයේදී (18) පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙන බව අම්බලන්තොට පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උතුරු කඩවර පදිංචි අමරකෝන් කංකානම්ගේ සිරිපාල (59) දෙදරු පියෙක් වන අතර ඔහු මෙසේ වෙඩිපහරට ලක්ව ඇත්තේ තම බෑනාගේ නිවසේදී බවයි වාර්තා වන්නේ.

 පසුගිය 18 රාත්‍රී 11.30 පමණ නිවසට පැමිණි නාදුනන පිරිස නිවැසියන්ට කථා කර ඇති අතර නිවසේ ගෙහිමියා ඉදිරිපස දොර අරිනවාත් සමඟම නාදුනන තුවක්කු කරුගේ වෙඩි පහර වැදීමෙන් ගෙහිමියා ඉදිරිපස දොරකඩ ඉදිරිපිටම   වැටී මිය ගොස්  තිබෙන බවයි පොලිසිය පවසා සිටින්නේ.

 මිය ගිය පුද්ගලයාගේ දියණියක් විවාහ කරසිටින බෑනා සමඟ කිසියම් ආරවුල් තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ඒ අනුව බෑනා ඝාතනය කිරීමට පැමිණි මෙම නාදුනන තුවක්කු කරුවන් ගේ වෙඩි පහර මාමාට එල්ල වන්නට ඇතැයි ද පොලිසිය  සැක කරනවා.

සිද්ධිය සම්බන්දව එක් සැකකරුවෙක් අම්බලන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂන අම්බලන්තොට පොලිසිය සිදු කරනවා.

හම්බන්තොට – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි