hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2023 අගෝස්‍තු 10, ප.ව. 3:42



යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමඟුල් පෙරහැරක අනතුරුදායක යතුරුපැදි සංදර්ශන සිදුකරමින් ගමන්ගත් තරුණයින්ට අවවාද කළ තිදරු පියෙකුට හෙල්මට්වලින් පහරදී ඇති පුවතක් වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඉකුත් (07) පස්වරුවේ යතුරුපැදි අනතුරකින් මියගිය වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි දුලාංජ හේෂාම් විජේවර්ධන නැමති තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (09) පස්වරුවේ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී සිදු කළා.

එහිදී මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට යැයි පවසමින් තරුණයින් පිරිසක් යතුරුපැදි 30ක පමණ පෙළපාලියකින් පැමිණ අනතුරුදායක අන්දමින් තනි රෝදයෙන් සංදර්ශනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ දෙස බොහෝ පිරිසක් පිළිකුලෙන් යුතුව බලාසිට ඇතත් කිසිවකු විරෝධය දක්වා නොමැත. එම අවස්ථාවේ දී එහි සිටි තිදරු පියෙක් එයට විරෝධතාව පළ කර ඇත.

එයින් උරණවූ තරුණයන් තිහකට ආසන්න පිරිසක් විරෝධය දැක්වූ පුද්ගලයාට අතින් පයින් සහ හෙල්මට්වලින් පහරදී ඇති බවත්, ප්‍රදේශයේ කිහිපදෙනෙක් දැඩි පරිශ්‍රමයක් යොදා ඔහුව බේරාගත් බවත් සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වාද්දුව පොලීසිය සිදු කරනවා.