hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2022 අප්‍රේල් 17, පෙ.ව. 10:38



යතුරුපැදියක වේගය පාලනය කර ගැනීමටට නොහැකි වීම හේතුවෙන් ඊයේ (16) රාත්‍රී 9ට පමණ දඹුල්ල වෑමැඩිල්ල ජලාශයේ වාන් ඇළට වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය පැවසුවා..

මෙම සිව් දෙනා විනෝදාංශය සඳහා එක් යතුරුපැදියක පැමිණ තිබෙන බවත් අඩි හැත්තෑවක් පමණ ප්‍රපාතයකට මෙම යතුරුපැදිය වැටී අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ පවත්වන දඹුල්ල පොලීිසිය සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල පුවක්පිටිය නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංචි බිස්සුල් හාෆික් හම්නිදාස් (16) නව්සාඩ් අලි මුසාෆික් (16)  යන දෙදෙනා බව හඳුනාගෙන තිබෙනවා. 

යතුරු පැදියේ ගමන් කළ අනිත් 16 හැවිරිදි ම සිසුන් දෙදෙනා බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම තරුණයන් හතරදෙනා ඊයේ පස්වරුවේ නෝම්බි උපවාසය හමාර කොට නිවෙස් වල සිටියදී සිව් දෙනා සාකච්ඡාකොට නිවසේ සිට යතුරු පැදියකින් දඹුල්ල වෑමැඩිල්ල ජලාශය ප්‍රදේශයට අතුරු මාර්ගයකින් පැමිණ රාත්‍රී 9ට පමණ නැවත නිවස බලා සිව් දෙනා ගමන් කරමින් සිටියදී වංගුවත් සමඟ ඇති පල්ලමේ යතුරුපැදිය  ධාවනය වෙද්දි එය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ පහළ ප්‍රපාතයට වැටී ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කළා.

යතුරු පැදිය අද (17) උදෑසන වන විට මෙම වෑමැඩිල්ල වැවේ වාන් ඇලේ දැකගැනීමට හැකි විය. 

අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශ්වාසීන්ට මෙම සිසුන්ගේ කෑ ගැසිල්ල ඇසී මෙම ස්ථානයට පැමිණ ඇල ඇතුළේ වැටී සිටි පාසල් සිසුන් ගොඩගත් බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

එසේ ගොඩගත් පිරිස දඹුල්ල මූලික රෝහලට රැගෙන යන විට සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙම ප්‍රදේශයේ තරුණයන් සවස් කාලය වනවිට නෝම්බි කාලයේ වෑමැඩිල්ල ජලාශය වාන මතට හා වැවට පැමිණ විනෝද වී නැවත රාත්‍රී නිවස වලට යෑම සාමාන්‍ය සිද්ධියක් බව ප්‍රදේශවාසීන් පවසනවා.