hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 25, පෙ.ව. 3:18



දේශපාලන සංවාදයක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මොනරාගල සිට කටුනායක දක්වා ධාවනය වන ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් රථයේ කොන්දොස්තරවරයා, එම බස් රථයේ රියැදුරු විසින් එල්ල කරන ලද වීදුරු බෝතල් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව ඊයේ (24) දින උදෑසන මිය ගොස් ඇති බව කටුනායක පොලිසිය පවසනවා.

දිනපතා මොනරාගල සිට අලුයම 05.00ට පිටත් වන මෙම බස් රථය කටුනායකට පස්වරු 02.30 පමණ වන විට ළඟා වන අතර එය පසු දා අලුයම 05.00ට මොනරාගල බලා පිටත්ව යන තෙක් කටුනායක විහාරස්ථානයක නවතා තැබීම සිදු කරන බව වාර්තා වනවා.

පෙරේදා (23) දින රාත්‍රී 07.30ට පමණ ඔවුන් දෙදෙනා ආහාර ගැනීමට සූදානම් වී, මත්පැන් පානය කරමින් සිටින අතරතුර දේශපාලන සංවාදයක් ආරම්භ කර තිබෙන අතර එම සංවාදය දුරදිග යාමත් සමග බස් රථයේ රියැදුරු තමන්ගේ අතෙහි තිබූ බෝතලයක් කඩා කොන්දොස්තරගේ ගෙළ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වනවා.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 38 හැවිරිදි කොන්දොස්තරවරයා කටුනායක පොලිසිය වෙත පැමිණ, පැමිණිල්ලක් ද කර මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළු වී තිබෙනවා.

එසේ මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ උදෑසන මිය ගොස් ඇති බවයි කටුනායක පොලිසිය වෙත රෝහල බලධාරීන් දැනුම් දී තිබෙන්නේ.

මෙම ප්‍රහාරය එල්ල කළ 36 හැවිරිදි රියැදුරු මේ වන විට කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම රියැදුරු සහ කොන්දොස්තර මොණරාගල, මාගන්දරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.