hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 21, පෙ.ව. 11:04



තඹුත්තේගම පොලිස් වසමේ තිස්පනේපුර, රන්වන්තලාගම ගම්මානයේ නිවසක් ඉදිරිපිටදී අද (21) අලුයම වන අලියකු සිදු කළ පහරදීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (21) උදෑසන 5.20ට පමණ උදෑසන ආහාර පිසිමින් සිට ආහාරයන් රසවත් කිරීම සඳහා කරපිංචි අත්තක් කඩා ගෙන ඒම සඳහා තමන් පදිංචි නිවස ඉදිරිපිට පිහිටි තම මවගේ නිවසට යමින් සිටි කාන්තාවක්, ඇගේ මවගේ නිවස ඉදිරිපිටදී මෙලෙස වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

වන අලියා පහරදීම සිදු කරන විට ඇය කෑ ගසා ඇති අතර ඒ කෑ ගැසීමට නිවැසියන් පැමිණෙන විට ඇය වන අලියාගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබා බිම වැටී සිට ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තඹුත්තේගම, තිස්පනේපුර, රන්වන්තලාගම, පදිංචි සූරියපටබැඳිගේ ජෙනට් ශ්‍රියානී මල්කාන්ති නම් 63 හැවිරිදි කාන්තාවක්.

වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව කඩිනමින් තඹුත්ත‌ේගම රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව තඹුත්තේගම රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.

මිය ගිය කාන්තාවගේ දේහය මේ වන විට තඹුත්තේගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

තඹුත්තේගම, කොත්මල්පුර, තිස්පනේපුර, සමන්එළිය, රන්වන්තලාගම ආදී ගම්මාන කීපයකම ජීවත් වන්නේ කොත්මලේ ජලාශය ඉදි කිරීම වෙනුවෙන් තම නිජබිම් ලබා දී මීට වසර 40 කට පමණ පෙර  අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචියට පැමිණි ජනතාවයි.

ඔවුන් බොහෝ දෙනෙකු ගොවිතැනින් දිවි සරි කරගන්නා අතර ඔවුන්ට ඇති ප්‍රධානම ප්‍රශ්නය වන්නේ වන අලි තර්ජනයයි.

නිරන්තරයෙන් ගම්වදින වන අලින් මෙම ගම්මානයේ වගා බිම්, දේපළ නිරන්තරයෙන් විනාශ කර දමන බව ගම්වාසීන් පවසනවා.

ඒ අයුරින් ගම් වැදුනු වන අලියකු මෙලෙස අද (21) අලුයම කාන්තාවකගේ ජීවිතයක්ද උදුරා ගනු ලැබුවේ මෙම ගම්මානයේ වන අලි පහරදීමෙන් සිදු කළ දෙවැනි මරණය බවට පත් කරමින්ය.

ඊ‌යේ (21) රාත්‍රිය පුරාම වන අලින් දෙදෙනකු ගම්මානය පුරා සැරි සැරූ බවත්, එම වන අලින් නිවාස අසල නිරන්තරයෙන් රැදී සිටින බවත් ගම්වාසීන් පවසනවා.

ගම්මානය වටා අලි වැටක්ද ඉදි කර නැතැයි ඔවුන් පවසනවා.

2015 පසුව වසර 07 ක් 08 ක් තිස්සේ  මෙම ගම්මානයට වන අලි තර්ජන තිබෙන බව ගම්වාසීන් පවසනවා.

ගල්විහාරය ප්‍රදේශයේ රක්ෂිතයේ සිට වන අලි මෙලෙස පැමිණෙන බවත් ඔවුන් පවසයි.

තම වගාවන් රැක ගැනීම සඳහා පැල් රකිමින් මරණ භයෙන් ජීවත් වන බව ගම්වාසීන් පවසයි.

උදෑසන 5.30 ට පමණ මෙම කාන්තාවට වන අලි පහරදීම සිදු කළ බවත්, පාසල් දරුවන් පවා ඒ වේලාවට පාසල් යාමට එන බවත්, තම ජීවිත රැක ගැනීම සඳහා අලි මිනිස් ගැටුම පාලනයට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

දේශපාලන බළධාරීන් ඡන්ද කාළයට ජන්ද ගැනීමට පමණක් ගම්මානයට පැමිණෙන බවත්, කිසිදු අවස්ථාවක තම ගැටලු වලට විසදුම් ලබා දීමට ඔවුන් මැදිහත් නොවන බවත් ගම්වාසීන් පවසනවා.

පුද්ගලයකුගේ ජීවිතය නැති වුණාට පසු ආධාරයක් ලබා දීමෙන් මෙම ගැටලුව නොවිසෙදෙන බවත්, මේ සඳහා ස්ථීරසාර විසඳුමක් ලබා දෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

“බළධාරීන් ක්‍රිකට් මැච් ගහනවා – අපි ටී.වී එකේ බල බල අපි අලි එක්ක මැච් ගහනවා.අලි එක්ක අපිට ජීවිතේ ගත කරන්න වෙලා තියෙන්නේ දේශපාලකයෝ කැලෑ ගානේ,  වැව් ගානේ හෝටල් හදලා උන් රජ සැප විඳිනවා, මුංට හෙන හත වදින්න ඔ්න යැයි ආවේගශීලී වූ පුද්ගලයකු පැවසීය.අපිව ආයේ කොත්මලේට ගිහින් දාන්න , අපිට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ.” යැයි ගම්වාසීන් කාන්තාවන් පැවසුවා.

“වනජීවී කාර්යලයක් නිවස යාබදව පවතිනවා. එම කාර්යාලයේ නිළධාරීන් දිවා- රෑ නොබලා පාටි දමමින් මත්පැන් පානය කරමින් ක්ලබ් එකක් ලෙස පවත්වාගෙන යනවා. අපිට වෙන කරන්න දෙයක් නෑ, ඒ අය අලි රකින්නෙවත්, ගම්රකින්නෙවත් නෑ, දැන් ගම්වල මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අලින්ට කරන්ට් එක දාන එක,  එහෙම නැත්නම් කුරේටර් දෙන එක, එහෙම නැත්නම් සිමෙන්ති කුඩුයි , පොලිස්ර් කුඩුයි කළවන් කරලා අලින්ට දීලා මරන්න වෙලා තියෙනවා. ප්‍රභාකරන්ව රෝහණ විජේවීරව මරපු එකේ අලි කියන්නේ මහ දෙයක් නෙමෙයි.අපිට කරදර නම් අපි ඔවුන්ව මරන්න ඔ්න.මිනිස්සුන්ට කරදර කරපු නිසා රෝහණ විජේවීරයි, ප්‍රභාකරනුයි මැරුවා වගේම මිනිස්සුන්ට කරදර කරන නිසා අලිත් මරන්න ඕන.” යැයි  තවත් ගම්වාසීයකු පැවසුවා.