hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 20, ප.ව. 9:13



නිවසේ සීනුව නාද කලැයි උරණ වූ පුද්ගලයකු තවත් පුද්ගලයකු සමඟ එක්වී භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක නියෝජිතවරයෙකුට අමානුෂික ලෙස පහර දී ඇතැයි මහරගම පොලිසිය කියයි.

පහර කෑමෙන් බරපතළ තුවාල ලද 21 හැවිරිදි තරුණයා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා.

කොට්ටාව ප්‍රදේශයේ භාණ්ඩ බෙදා හැදෑරීමේ නියෝජිත ආයතනයකට ඇරැව්වල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකුගේ නමට ලබාදීම සඳහා කෑගල්ල ප්‍රදේශයෙන් පැමිණ තිබූ  කුඩා පාර්සලයක් භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයේ ලොරි රථයකින් බෙදීමට නියමිත තවත් පාර්සල් කිහිපයක් ද රැගෙන පහර කෑ නියෝජිතවරයා රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

එම නිවසට ලඟා වීමට පෙර පා‍ර්සලේ සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තිබූ නියෝජිතවරයා තමන් නිවස ආසන්නයට පැමිණ සිටින බැවින් නිවස ඉදිරිපිට ඉදිරිපිටට පැමිණ සිටින ලෙසට දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.

නියෝජිතවරයා නිවස අසලට ගියත් නිවෙස් හිමියා පෙනෙන්නට නොසිටි බැවින් සීනුව නාද කර මද වේලාවක් සිට නිවස තුළින් ප්‍රතිචාරයක් නොවූ බැවින් නැවත වතාවක් සීනුව නාද කර තිබූ බව පොලිසිය කියයි.

එයටද මද වේලාවක් යනතුරු ප්‍රතිචාරයක් නොවීම හේතුවෙන් තෙවන වතාවට ද සීනුව නාද කිරීමට නියෝජිතයා පියවර ගෙන තිබුණා.

ඇයි තමුසෙට ඔච්චර හදිසි යැයි පවසමින් පැමිණි පුද්ගලයකු නියෝජිතවරයාට බැන වදින්නට වූ බව ඔහු කළ ප්‍රකාශයක සඳහන්.

“ඔයාගෙන් බැනුම් අහන්න නෙමෙයි ආවේ මේ පාර්සලේ අරගෙන මේකට අත්සනක් ලබා දෙන්න.” යැයි නියෝජිතවරයා පැවසුවද  ඊට අවනත නොවූ නිවෙස් හිමිකරු “මට ඕන නැහැ ඔය පාර්සලේ අරන් පලයන්” යැයි නැවතත් බැන වදින්නට වූ බව  නියෝජිතවරයා පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙනවා.

අනතුරුව නිවෙස් හිමියා එම ස්ථානය තිබූ කොන්ක්‍රීට් ගල් අහුරක් ගෙන ලොරි රථයට පහරදී ඇති අතර එම අවස්ථාවේදී නියෝජිතවරයා ලොරියෙන් බිමට බැසීමත් සමගම නිවෙස් හිමියා ඔහුටගේ මුහුණට වැරෙන් ප්‍රහාරයක් එල්ල කර අනතුරුව තවත් පහර කීපයක් ගසන්නට වූ බවත් තවත් පුද්ගලයෙක් ද එම ස්ථානයට පැමිණ දෙදෙනාම එක්ව පහර දෙන්නට වූ බවත්  පැමිණිල්ලේ සඳහන් වෙනවා.

එම අවස්ථාවේ දී තමන්ගේ නහයෙන් ලේ වහනය වී තමන්ට කලාන්ත ගතියක් දැනුනු බවත් ඔහු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.