hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 23, පෙ.ව. 12:20



නව යොවුන් වියේදී දරුවන් තුළ ආවේගශීලී හැඟීම් ඇතිවීම සාමාන්‍ය දෙයක්.

නමුත් එම හැඟීම් දරුණු ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගන්නවා නම්, එය අවධානය යොමු කළ යුතු කරුණක්.

බණ්ඩාරවෙල නගරයේ ජනප්‍රිය පාසල් දෙකක සිසුන් දෙදෙනෙකුට, තවත් පාසල් සිසුන් පිරිසක් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

පහරදීම් සිදුවන්නේ, බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි, දුම්රිය මාර්ගයේදී.

සිසුන් අයෙක්ම ජංගම දුරකථනයකින් පටිගත කල දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.

පහර දීමට පැමිණෙන එක් සිසුවෙක් ඒ සඳහා පැමිණ ඇත්තේ පිහියක්ද රැගෙනයි.

පහර කෑමට ලක්ව ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දෙදෙනෙක්.

පහර දී ඇති සිසුන් ද මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වන අතර ගණිත සම්මන්ත්‍රණයකට ගොස් යළි එන අතරතුර ගැටුම හටගෙන තිබෙනවා.

ගැටුමට හේතුව පැරණි ආරවුලක් බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් පහර කෑමට ලක්වූ දරුවාගේ පියා මෙසේ අදහස් දක්වා සිටියා,

“කලිනුත් මගේ ළමයට ගහලා සාමදාන වෙලා ඒකෙ ලිපියකුත් තියෙනවා. අපි සාමදාන වෙලා ඔක්කොම ඉවර වෙලා තමයි මේ පාරට ගෙන්නගෙන ගිහිල්ලා ගහන වීඩියෝ එක දැකලා මං පොලිසියට ගිහිල්ලා පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මා. කවුරුත් දරුවෝ කියන හැඟීමෙන් ගිය සැරෙත් ප්‍රශ්න වලදී සාමදාන කරා මගේ දරුවට අසාධාරණයක් වෙලා දවස් හතරක් මේ හොස්පිට්ල් එකේ හිටියා.”

සිද්ධියෙන් පහර කෑමට ලක්වූ දරුවාගේ මව මෙසේ අදහස් දක්වා සිටියා,

“පිහි පාර වැදුනා නම් මගේ දරුවා ඒ පිහිය නොදැක්කා නම් අද මොකද වෙන්නේ? ඒ දරුවා එක්කෝ මැරිලා ඉන්නේ. මගේ දරුවාට වුණා කියන්නේ තව දරුවෙකු වුණා කියන්නේ එක හා සමානයි. දෙමව්පියෙක් විදිහට. මේ වගේ වැරදි නොවෙන්න, පාසල් වලිනුත් ඔය දරුවන්ගේ දෙමව්පියන්ගෙනුත් ඉල්ලනවා. මේ ළමයි ගැන ගොඩක් දුරට හොයලා බලන්න.”

ගැටුමේදි පහර කෑ සිසුවෙකු සහ පහර දීමට සම්බන්ධ සිසුන් දෙදෙනෙකු බණ්ඩාරවෙල පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙයෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධව අවධානය යොමු කරලා ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරා. ඒ විමර්ශනයෙන් පසුව හඳුනාගනු ලැබුවා දරුණු ලෙස මේ අනිත් අයගෙන් පහර කෑමට ලක්වන ළමයා. මේ ළමයා මේ වන විට බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට කැඳවගෙන ඇවිල්ලා ඔහුගෙන් අදාළ ඒ තොරතුරු විමසීමක් කරනවා මොකක්ද මේ සිද්ධිය සිද්ධ වුණේ කියලා. ඊට අදාළව ඔහුගෙන් ලැබෙන තොරතුරු අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතව තියෙනවා.”

මේ අතර ස්ථානයේදීම පින් පෙර අවස්ථාවකදී හටගත් ගැටුම්කට අදාළ දර්ශන පෙළක් ද සමාජ මාධ්‍යවල සංසරණය වුණා.