hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 06, ප.ව. 3:01



කුලියාපිටිය නගරාසන්නයේ පොසොන් කලාපයක තිබූ හොල්මන් මන්දිරයක මෘත දේහය හා පිරිසක් අතර ඇතිව තිබූ ගුටි කෙළියක් හේතුවෙන් මෘත දේහය හා අදාළ පිරිස අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය සඳහන් කළා.

එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය, සුභාරතීපුර ප්‍රදේශයේ පැවැති පොසොන් සැණකෙළි භූමියේ ස්ථාපිත හොල්මන් මන්දිරයක් තුළ මෘත දේහයක් ලෙසින් රඟපෑ අයකු හා ඔහු සමඟින් ආරවුලක් ඇතිකරගත් බව කියන පිරිසක්.

සැණකෙළිය පැවැත්වෙමින් තිබෙන අතරතුර පැමිණි තරුණ කණ්ඩායමක් මෘත දේහයට ‘මූ මැරිලද බලමු’ යන්න කියමින් කම්මුල ප්‍රදේශයට වැරෙන් පහරක් එල්ල කළ බව මෘත දේහයට පෙනී සිටි අය ප්‍රකාශ ලබා දුන් බව පොලිසිය කියයි.

එහිදී තමන් එය ඉවසාගත නොහැකිව මිනී පෙට්ටියෙන් නැඟිට පහරදුන් පුද්ගලයාට පෙරළා පහරදුන් බවත් පසුව එහි සිටි පිරිස් ඊට මැදිහත් වූ බවත් පැවැසුවා.

මීට පෙර දිනයේද පැමිණි පිරිසක් තමන්ගේ හුස්ම සිරවන තෙක්ම නාසය මිරිකාගෙන සිටි බවත් පැවැසූ මෘත දේහයට පෙනී සිටි අය වැඩිදුරටත් පවසා තිබුණේ එවැනි තාඩන පීඩන රැසකට මුහුණ දී තිබීම හේතුවෙන් එම මොහොතේ තමන්ට ඉවසාගත නොහැකි වූ බවයි.

පොලිසිය එම ස්ථානයට යන විටත් හොල්මන් මන්දිරය අපායක් බවට පත් වෙමින් තිබූ බවද පොලිසිය කියයි. එහිදී පාර්ශ්ව දෙකම අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

පසුව වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම් හමුවේ එම මෘත දේහය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් සිටි දරුවකු බව හෙළි වීමත් සමඟින් කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජල අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරි සුජීව විජේසේන, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත පොසොන් පොහොය හා හොල්මන් මන්දිරය පිළිබඳව පහදා දී පොලිස් ඇප මත මුදා හැරීමට විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රන්ජන් මහතා කටයුතු කර තිබුණා.