hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 20, ප.ව. 1:53



සංචාරක වීසා මත විදේශ රටවලින් කාන්තාවන් මෙරටට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා මුදල් ඉපයීමේ ජාවාරමක් සිදු කළ කෝටිපති ව්‍යාපාරිකයකු මෙහෙය වු සුඛෝපභෝගී ගණිකා මධ්‍යස්ථානයක් වටලා ඉන්දුනීසියානු කාන්තාවක් ඇතුළු කාන්තාවන් දෙදෙනකු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

මෙම නිවස තුළ තිබී උපත් පාලන කොපු, මුදල් රුපියල් දස දහසක්, මෙම ජාවාරම මෙහෙයවන කෝටිපති ව්‍යාපාරිකයාට මුදල් බැර කළ බව සටහන් කර තිබූ බැංකු රිසිට්පත් තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය මල් පාරේ සුඛෝපභෝගී දෙමහල් නිවසක විදේශීය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ රහසිගත ව්‍යාපාරයක් සිදුකරන බවට පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදවා එහි රැඳී සිටි ඉන්දුනීසියානු කාන්තාවක් රුපියල් දස දහසක මුදලකට ලබාගෙන සුළු මොහොතකදී වැටලීම සිදු කළ බව පොලිසිය ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් එම කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක රැකියාවක් ලබා දෙන පවසා අත්අඩංගුවට ගත් කළමනාකරු එහි හිමිකරු බව කියන කෝටිපති ව්‍යාපාරිකයා සමග එක්ව ගුවන් තොටුපොළේ සිට තමන්ව රැගෙන විත් බලහත්කාරෙන් මුදලට අලෙවි කරන බව පැවසී යැයි පොලිස් නිලධාරිනියක් පැවසුවා.

අත්අඩංගුවට ගත් වේයන්ගොඩ පදිංචි කළමනාකරු මෙම ජාවාරම මෙහෙයවන කෝටිපති ව්‍යාපාරිකයා ගේ බැංකු ගිණුමට දිනකට රුපියල් 55000 ක මුදලක් බැර කර ඇති බව එහි තිබී සොයාගත් බැංකු රිසිට් පත් වලින් පැහැදිලි වන බව පොලිස් නිලධාරියකු සඳහන් කළා.

මෙම ගොඩනැගිල්ල කෝටිපති ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂ තුනක මුදලකට මාසික කුලී පදනම මත ලබා ගෙන ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ගණිකා මධ්‍යස්ථානය වෙත ප්‍රභූන් මෙන්ම දේශපාලනඥයන් කාන්තාවන්ගේ පහස ලබා ගැනීම සඳහා නිරතුරුවම පැමිණෙන බවට ද කළමනාකරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය වී යැයි පොලීසිය කියා සිටියා.

එම කෝටිපති ව්‍යාපාරිකයා මීට පෙරද ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවසක් මිලට ගෙන විදේශීය කාන්තාවන් ගේ කැමැත්තෙන් තොරව ගණිකා වෘත්තිය යෙදීමේ ව්‍යාපාරයක් සිදුකරගෙන යාම සම්බන්ධයෙන් විදේශීය කාන්තාවන් හත් දෙනකු සමඟ අත්අඩංගුවට පත්ව නඩු පවතින්නෙක් බවත් පොලිසිය පෙන්වා දෙනවා.

මෙම ජාවාරමේ වන කෝටිපති ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් බවත් පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කොල්ලුපිටිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පරීක්ෂණ පවත්වයි.