hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 23, ප.ව. 3:04



වයස අවුරුදු 19, 21 හා 23 තරුණයන් තිදෙනෙකුගෙන් වරින් වර බරපතළ ලිංගික අපයෝජනයට ලක් වූ නුගේගොඩ ප්‍රසිද්ධ පාසලක 13 හැවිරිදි දැරියක් රෝහල් ගතකර ඇතැයි කිරුලපන පොලීසිය පවසනවා.

එම අපරාධය සම්බන්ධයෙන් කිරුළපන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 හා 21 තරුණයන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2022 වසරේ සැප්තැම්බර් මාසයේදී දැරිය පදිංචි නිවෙස ආසන්නයේ පැවැති අවමඟුල් උත්සවයකදී 23 හැවිරිදි තරුණයෙකු සමග පෙම් සබදතාවයක් හටගෙන තිබූ බව පොලිසිය සඳහන් කළා.

අනතුරුව එම පුද්ගලයා විසින් දැරියව දෙහිවල ප්‍රදේශයේ මුහුදු වෙරළට රැගෙන ගොස් පැය කිහිපයක් ගත කිරීමෙන් අනතුරුව හෝටල් කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව දැරිය පදිංචි නිවස ආසන්නයේ සිටින මිතුරියකගේ සහෝදරයකු වන 21 හැවිරිදි තරුණයකු දැරිය සමග
සබදතාවයක් ඇති කර ගෙන තිබූ අතර දැරියගේ නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථාවේදී ඔහු පැමිණ දැරියට ලිංගික අතවර කර තිබූ බව පොලිසිය සඳහන් කළා.

ඉන් අනතුරුව 2023 ජනවාරි පළමුවැනි දින දැරියගේ නිවසේ පැවති සාදයකදී අධික ලෙස මත්පැන් පානය කළ 19 හැවිරිදි තරුණයකු දැරියට අතවර කර තිබූ බව සිදු කළ දීර්ඝ විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරිනියක් පැවසුවා.

දිගින් දිගටම අතවරයට පත් දැරිය මේ පිළිබඳ ඇයගේ සමීපතම මිතුරියකට පැවසීමෙන් අනතුරුව එම යෙහෙළිය විසින් පන්ති භාර ගුරුතුමියට කරන ලද දැනුම් දැනුම්දීමක ප්‍රතිඵලයක් ලෙස 1929 උපකාරක සේවයට ලද පැමිණිල්ලක් කිරුළපන පොලිසියට යොමු කිරීමෙන් අනතුරුව දැරිය පොලිසියට ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරිමේදී මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවා.

දැරියව ප්‍රථමයෙන් අතවරයට පත් කළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

කිරුලපන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.