hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 26, ප.ව. 4:29



නීති විරෝධී මත්පැන් අලෙවි කළ කාන්තාවක පානදුර උතුර පොලිසිය විසින් පෙරේදා (24) රාත්‍රි අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ඒමේදී හදිසියේ අසනීපව ජීවිතයක්ෂයට පත්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර, දිග්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි පාලමන්ඩිගේ නයනා රෝෂිනී නමැති 52 හැවිරිදි සිවුදරු මවක බවද පොලිසිය කියා සිටියා.

මියගොස් ඇති කාන්තාවගේ නිවෙසේ නීති විරෝධී මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පානදුර උතුර පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රි නිවෙස වටලා තිබෙනවා.

එහිදී සැකකාර කාන්තාව නීතිවිරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට ගෙන පොලිසියට  රැගෙන එන අතරතුර හදිසියේ අසනීපව ඇති බව පොලිසිය කියයි.

ඒ අනුව පවුලේ සාමාජිකයකු වෙත රෝගී කාන්තාව රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දී ඇති අතර රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මරණය සිදුවීමත් සමඟින් යම් නොසන්සුන්කාරී තත්ත්වයක් පැවැතිය හැකි බවට බුද්ධි අංශ වාර්තා කිරීමත් සමඟින් එදින රාත්‍රියේම කැරලි මර්දන ඒකකය කැඳවා තිබුණා.

මරණකාරියගේ පවුලේ සාමාජිකයන් සහ සමීප හිතවතුන් ඇතුළුව විස්සකට ආසන්න පිරිසක් පැමිණ සිටියද පොලිසිය කරුණු අවබෝධ කරදීමෙන් පසු ඔවුහු විසිර ගියා.

මෙහිදී මරණකාරියගේ දියණියක සඳහන් කළේ මව කසිප්පු විකිණීම සිදුකරන්නේ ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බවත් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය රෝහල් ගතකිරීමට යුතුකමක් තිබූ බවත්ය.

පානදුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා සඳහන් කළේ පානදුර සහකාර පොලිස් අධිකාරි 3 සම්පත් බණ්ඩාර සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකරගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සඳහා යොදා ඇති බවයි.

මරණය සම්බන්ධයෙන් වූ පොලිසිය විසින් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පානදුර මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්නගේ උපදෙස් පරිදි පානදුර  සහකාර පොලිස් අධිකාරි 3 සම්පත් බණ්ඩාර සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකරගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වෙනවා.