hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 8:25



සංවිධානාත්මක අපරාධ, මිනිස් ඝාතන සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පාතාලයේ කෙරුමන් වූ මාකඳුරේ මධුෂ්  සහ අංගොඩ ලොක්කා වළපල්ලට යෑමෙන් පසු මෙරට පාතාල ‘වැඩකරු’ වී සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා මේ වන විට සිටින්නේ අබුඩාබි පොලිස් අත්අඩංගුවේ.

ඔහු අබුඩාබි පොලිසියට කොටු වන්නේ සිය අනියම් බිරිය සමඟ මාලදිවයිනට යෑමට පැමිණි විටදීයි.

ඒ හරහා ප්‍රංශයට යෑමට ඔහුගේ අදහස වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සඳහන් M6692136 දරන ශ්‍රී  ලංකා ගමන් බලපත්‍රයද අතැතිව ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ඔහු සිය ගමන් බලපත්‍රය එරට ආගමන විගමන නිලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලැබුවේ කිසිදු චකිතයකින් තොරවයි.

ඒ ඊට පෙරද ඔහු එම ගමන් බලපත්‍රය උපයෝගි කර ගෙන ඩුබායි ගුවන් තොටුපොළ හරහා කිසිදු බාධාවකින් අවහිරයකින් තොරව මාලදිවයින, සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයකටම ගමන් කර තිබූ නිසායි.

රොෂාන් ඉසංකගේ ගමන් බලපත්‍රය ගත් ඩුබායි ආගමන විගමන නිලධාරීන් එය හොඳින් පිරික්සා බලා තිබෙනවා.

ගමන් බලපත්‍රයේ සඳහන් රොෂාන් ඉසංකගේ ඡායාරූපයේ කිසියම් වෙනසක් ඔවුන් ඒ අනුව රොෂාන් ඉසංක නමැත්තා ඩුබායි ගුවන්තොටුපොළ ආරක්ෂක බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ආගමන විගමන නිලධාරීහු කටයුතු කර තිබෙනවා.

වැලිගම ප්‍රදේශයේ සිදුවූ මිනිස් ඝාතනයකට සහ මාතරදී සිදු කළ කොල්ලකෑමට චෝදනා ලැබ මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වීමත් සමඟ ඔහු අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විමර්ශන පවත්වද්දී ඔහු ලංකාවෙන් පැන ගියා.

පසුව ඔහු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මහ පරිමාණයෙන් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට මත්ද්‍රව්‍ය තොගපිටින් එවනු ලැබුවා.

එමෙන්ම කුලී ඝාතකයන් ලවා මිනිස් ඝාතන සිදු කරන්නටද පටන් ගත්තා.

දිගින් දිගටම ඩුබායි සිට අපරාධවලත් මත්ද්‍රව්‍ය ජාවාරමෙත් නිරත වීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය රතු වරෙන්තු ලබාගත්තා.

ඒ නඳුන් චින්තක වික්‍රමරත්න යන නමටය. ඒ ඉකුත් 2021 වසරේදීය.

මේ බව දැනගත් හරක් කටා නඳුන් චින්තක නමින් ලබාගත් විදෙස් ගමන් බලපත්‍රය විනාශ කර දමා නව ගමන් බලපත්‍රයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.

ඒ සඳහා ඔහු තෝරා ගත්තේ මිදිගම පදිංචි රොෂාන් ඉසංක නමැති අයකුගේ නම් ගම් සහිත තොරතුරුයි.

එලෙස සකසාගත් නව ගමන් බලපත්‍රය හරහා රොෂාන් ඉසංක මාලදිවයින, ප්‍රංශය, සිංගප්පූරුව වැනි රටවල සංචාරය කර තිබෙනවා.

එහෙත් කිසිදු විදේශීය ආරක්ෂක අංශයක් හෝ ආගමන විගමන නිලධාරීන්ගෙන් ඔහුට කිසිදු බාධාවක් වී නැහැ.

ඒ රොෂාන් ඉසංකගේ නමට කිසිදු අපරාධ චෝදනාවක් හෝ වරෙන්තුවක් නිකුත් කර නොතිබූ නිසා.

ඒත් වැඩි කලක් යන්නට මත්තෙන් නඳුන් චින්තක රොෂාන් ඉසංක නමින් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඩුබායි හරහා මාලදිවයිනට යන එන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට තොරතුරු ලැබි තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නාශක කණ්ඩායමක් රොෂාන් ඉසංක පසුපස වුණා.

එම කාර්යාංශයට එම තොරතුරු ලැබුණේ මාලදිවයිනේ විදේශ ඒජන්සියක් හරහායි.

පසුව මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිසියේ ශ්‍රී ලංකා ශාඛාවටද දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව කළ විමර්ශනයේදී හෙළි වූයේ නඳුන් චින්තක නොහොත් හරක් කටා එලෙස ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට භාවිත කර ඇති රොෂාන් ඉසංක ඒ වන විටත් මියගොස් ඇති බවයි.

නිලධාරීහු එහි ඇත්ත නැත්ත සොයා ගැනීමට වැලිගමට ගොස් තිබෙනවා.

හේරත් දිසානායක රොෂාන් ඉසංක නමැති පුද්ගලයකුගේ නමින් මරණයක්ද ලියාපදිංචි කර තිබුණා.

ඔහු 2018 ජනවාරි 31 වැනිදා බටවල කොලනියේ පොදු සුසාන භූමියේ ආදාහනය කර ඇති බවට සඳහන් ලියාපදිංචි සහතිකයක්ද මේ වන විට ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ.

මරණය ලියාපදිංචි කර ඇත්තේ වැලිගමෙන්.

29 හැවිරිදි රොෂාන් ඉසංකගේ මව, පියාගේ නම්ද සහිතව සකස් කර තිබූ එම සහතිකයේ රොෂාන් ඉසංක මියගොස් ඇත්තේ ගෙලවැලලා ගැනීමෙන් ඇති වූ හුස්ම හිරවීමෙන් බව මරණ පරීක්ෂකවරයාද සඳහන් කර තිබෙනවා.

රොෂාන් ඉසංකගේ ලියාපදිංචි මරණ සහතිකයද සොයාගත් විමර්ශන නිලධාරීන් ඒ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයකින් පසු වටහා ගත්තේ නඳුන් චින්තක නොහොත් හරක් කටා නව ගමන් බලපත්‍රය සඳහා උපයෝගි කර ඇත්තේ මියගිය බව කියන රොෂාන් ඉසංකගේ නමින් බවයි.

ඒ වන විට නඳුන් චින්තක වික්‍රමරත්න යන නමට රතු වරෙන්තුවක් නිකුත් කර තිබුණද රොෂාන් ඉසංකගේ නමට එවන්  වරෙන්තුවක් නැති බැවින් ඒ නම උපයෝගි කරගෙන හරක් කටා මෙලෙස විදෙස් ගමන්වල යෙදෙන බව තහවුරු කරගත් රහස් පොලිසිය ඉන්ටර්පෝල් ශාඛාවට එම රතු වරෙන්තුවට රොෂාන් ඉසංකගේ නමද ඇතුළත් කරනු ලැබුවා.

ඒ නඳුන් වින්තක නමැත්තා ඒ වන විට රොෂාන් ඉසංක නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් පෙනී සිටින බව සඳහන් කරමින්.

එම තොරතුරු ජාත්‍යන්තර පොලිස් ශ්‍රී  ලංකා ශාඛාව විසින් ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයට සහ එහි ශාඛා 195ටම ලබාදෙනු ලැබුවා.

මෙම ශාඛාවල මූලස්ථානය පිහිටියේ ප්‍රංශයේ ලියෝන් නගරයේ.

හරක් කටා වරෙක සිය ගෝල බාලයන් යොදවා සන්ෂයින් සුද්දාට වෙඩි තැබුවද ඔහු ජීවිතය බේරා ගත්තේය. ඉන් පසුව ඊට රිටර්න් එක ලැබෙන බව දත් හරක් කටා ඩුබායිවලට පැන ගත්තා.

ඩුබායිහිදී මධුෂ්ට එකතුව මත්ද්‍රව්‍ය  ජාවාරමට අත ගැසූ හරක් කටා ඩුබායි සිට වැලිගම, මිදිගම, මාතර ප්‍රදේශවලට මත්කුඩු ජාලය ව්‍යාප්ත කළා.

මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී පොලිසියට කොටුවීමත් සමඟ මධුෂ්ගේ කුඩු ජාලය මෙහෙයවන්නා බවට පත්වූයේ හරක් කටාය.

එතැන් පටන් ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ එකතුවෙමින් හෙරොයින් සහ අයිස් තොග පිටින් ඔහු දකුණු මුහුදු තීරය ඔස්සේ මෙරටට එවීය. ඒ සඳහා ගෝලබාලයන් රැසක් ඔහු යොදාගෙන සිටියා.

මෙහෙයුම අති සාර්ථකත්වයට පත් කරමින් ඉකුත් අගෝස්තු මස 11 වැනිදා රොෂාන් ඉසංක නොහොත් හරක් කටා අබුඩාබි ගුවන් තොටුපොළේදී එරට ආගමන විගමන නිලධාරීන්ට කොටුවන්නේ සිය අනියම් බිරියද සමඟයි.

ඉකුත් ජූලි මස 31 වැනිදායින් ඇරැඹි ඝාතන රැල්ලේ වැඩි හරියකටම වගකිවයුත්තා වනුයේ හරක් කටාය.

ගල්කිස්ස අධිකරණය තුළදී විත්තිකූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්නේද හරක් කටාගේ ගෝලයන්.

මේ වන විට මෙරට සිදුවූ මිනිස් ඝාතන වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තා වනුයේද හරක් කටා බව පොලිසිය කියයි.

මේ නිසා හරක් කටා මෙරට පොලිසියට අත්‍යවශ්‍යම චරිතයක්.

ඒ නිසා ඔහු මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ වන විට ඩුබායි සහ කොළඹ ජාත්‍යන්තර පොලිස් ශාඛා අතර තොරතුරු එහා මෙහා වෙමින් තිබෙනවා. හ

එහෙත් හරක් කටා මෙරටට භාරදීමෙන් පසු මාකඳුරේ මධුෂ්ට වූ ඉරණමට ඔහුට අත්විඳීමට ඉඩකඩ ලබා නොදීම සඳහා හරක් කටාගේ සමීපතමයන්ද ඩුබායි හි දැඩි සටනක නිරතව සිටිනවා.

ඒ අතරින් හරක් කටා සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් මිනිස් ඝාතන සිදුකරන පානදුරේ සලිඳුද සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.

හරක් කටා ලංකාවට පිටුවහල් කළහොත් ඔහු ඝාතනය වනු ඇතැයි කියමින් හරක් කටා පාර්ශ්වය නීතිඥ සහාය ලබා ගැනීමටද යුහුසුලුව සිටින බවට රහස් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

එහෙත් චෝදනා රැසක් සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හරක් කටා මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙරට ශාඛාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටින අයුරුද දක්නට තිබෙනවා.