hit counter

2024 දෙසැම්‍බර් මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 24, ප.ව. 4:13



යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසනවා.

යාපනය කංකසන්තුරෙයි මාර්ගයේ චුන්නාකම් මංසන්ධිය ප්‍රදේශයේදී අදාල කල්ලි දෙකේ සාමාජිකයින් කාර් රථයකින් සහ කැබ් රථයකින් මුහුණට මුහුණ ගැටී ඇති අතර වාහන දෙක ගැටීමෙන් අනතුරුව එහි සිටි සාමාජිකයින් තියුණු ආයුධ අතැතිව පහරදීගෙන මාර්ගයේ ගමන්ගත් ජනතාවටද තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇතැයි වාර්තා වෙනවා.

අදාළ ගැටුමෙන් කාර් රථයකට සහ කැබ් රථයකට මෙන්ම යතුරුපැදියකටද බරපතල හානි සිදුව තිබෙනවා.

වාහන දෙක මුහුණට මුහුණ ගැටීමෙන් සහ තියුණු ආයුධ වලින් පහරදී ගැනීම හේතුවෙන් දෙපාර්ශවයේ සාමාජිකයින් සහ මාර්ගයේ ගමන්ගත් මගීන්ද ඇතුලුව සිව් දෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවට පොලීසිය පැවසුවා.

ගැටුම ඇති වී ඇති පිරිස් ආවා කල්ලියේ සහ කැනී කල්ලියේ සාමාජිකයින් බවට සැකපල කරන අතරම දෙපාර්ශවය අතර වූ ආරවුලක් මත මෙලෙස ගැටී ඇතැයිද පොලීසිය පවසනවා.

මේ අතර අදාල ගැටුම අද දහවල් කාලයේ සිදුවූ බැවින් දමිළ සිනමා පටයක් සේ දෙපිරිස අතර වාහන සහ තියුණු ආයුධ සමගින් ගැටුම් ඇතිකරගත් බවටද එය දැඩි භීතියක් ගෙනදුන් සිදුවීමක් බවද ප්‍රදේශවාසීන් පවසනවා.

මේවනවිට රෝහල්ගත කොට ඇති සිව් දෙනා පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගන්නා අතරම ගැටුම ඇතිකරගත් සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

Example Image