hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 09, ප.ව. 1:13



කළුතර ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක තෙවන මහලින් වැටී අභිරහස් ලෙස මිය යෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද අළුයම හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර, පලාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේ.

29 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු කල් බදු පදනම මත වාහන ලබා ගන්නා පුද්ගලයින්ගේ වාහන අත්පත් කර ගන්නා අයෙකු ලෙස කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම සැකකරු කිසියම් ආකාරයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සම්බන්ධයක් ඇත්ද, එසේත් නැතිනම් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධතා පවතීද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන අරඹා ඇති බව පොලීසිය පැවසුවා.

සැකකරු සන්තකයේ බහුලව මුදල් ගැවසෙන බවට නිරීක්ෂණය වී ඇති බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මුදල් සැකකරුට ලැබෙන ආකාරය පිළිබඳව ද විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවයි ප්‍රකාශ කළේ.