hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 16, ප.ව. 12:01



බාලවයස්කාර පිරිමි දරුවන් ලිංගික ක්‍රියාවලට යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උණවටුන, මැටරඹ සතර මහ දේවාලයේ කපුවා අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා රුපියල් කෝටි දහයක මුදලක් ලබා දීමට උත්සාහ කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

මෙවන් විශාල මුදලක් අල්ලස් ලෙස දීමටත් යානවාහන, ගොඩනැගිලි නිවාස රාශියක් සන්තකයේ තබාගෙන රුපියල් ලක්ෂ කෝටි ගණන් මුදල් වියදම් කිරීමට මොහුට හැකියාව ලැබී ඇත්තේ කෙසේ ද යන්න සෙවීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අවධාරණය කළා.

අල්ලසට හෝ බලපෑම්වලට යට නොවී රහස් පොලිසිය ක්‍රියාකළ ආකාරය ඉතා පැසසුම්සහගත බවත් සැකකාර දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පිළිබඳ විවිධ තොරතුරු සහ ඔහු රහසිගතව උපයා ඇති වත්කම් පිළිබඳ මහජනයා දිගින් දිගට ම තොරතුරු ලබා දෙන බව ත් මෙතෙක් කල් ඔහු සහ ඔහුගේ ගෝලබාලයන්ට බියෙන් බොහෝ පිරිස් තොරතුරු ලබානොදී ඇති බව ත් හෙතෙම කියා සිටියා.

එමෙන්ම මේ වන විට සැකකාර කපුවා පරිහරණය කළ ජංගම දුරකතන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති අතර ඩිජිටල් වෝහාරික පරිගණක කොට්ඨාසය මගින් එම දුරකතනවල දත්ත නිරීක්ෂණය කරමින් සිටින අතර එම දත්තවලට අනුව ඔහු සමග සබඳකම් පැවැත්වූ උසස් පොලිස් නිලධාරීන් ලැයිස්තුව අනාවරණය කර ගැනීමට හැකි බව ද ඔහු පවසා සිටියා.

මාස ගණනක දත්ත මේ අනුව ලබාගැනීමට කටයුතු කර ඇති බවත් ගාල්ල ආශ්‍රිතව රාජකාරි කරන ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් මෙන් ම කලක් ගාල්ල කොට්ඨාසයේ රාජකාරි කොට මාරුවීම් සහ උසස්වීම් ලැබ එම කොට්ඨාසයෙන් වෙනත් ප්‍රදේශවලට මාරුවීම් ලැබූ නිලධාරීන් ද ඒ අතර සිටින බවට සැක කෙරෙනවා.