hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 13, ප.ව. 2:51



පාසල් වයසේ පසුවන පිරිමි ළමයින් රවටා ගෙන ඔවුන් සමඟ විවිධ ලිංගික කටයුතුවල නිරත වෙමින් ඒවා වීඩියෝගත කර ජාත්‍යන්තර වෙබ් අඩවිවලට සහ විදේශිකයන්ට විකුණු බව කියන හබරාදූව උණවටුවේ මැටරඹ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් යැයි කියා ගන්නා අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගිය 10 වනදා සවස අත්අඩංගුවට ගනු ලැබුවා.

රහස් පොලිස් නිලධාරීන් මොහු අත්අඩංගුවට ගැනීමත් සමග කලබල වූ දකුණේ ඇතැම් දේශපාලනඥයන් සහ දකුණු පළාතේ පොලිස් ලොක්කන් මෙම කපුවා බේරා ගැනීම සඳහා නොයෙක් බලපෑම් කළ ද රහස් පොලිස් නිලධාරීන් ඒ කිසිවෙකුටත් අවනත නොවී ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කරන්නට පියවර ගෙන තිබුණා.

සිද්ධියට සම්බන්ධ කපුවා කවුදැයි හඳුනා ගත් රහස් පොලිස් නිලධාරීන් ඔහු රටේ ප්‍රබල දේශපාලනඥයන් මෙන් ම උසස් පොලිස් නිලධාරීන් ද ඉතාමත් ළඟින් ඇසුරු කරන අයෙකු බවට ද හඳුනා ගෙන තිබෙනවා.

එමෙන් ම ඔහු වටා ආරක්‍ෂකයන් නවදෙනෙකු සිටින බවත් කපුවා නින්දට යනතුරු ඔවුන් කපුවා අසල ම රැඳෙන බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කපුවා ප්‍රබල පුද්ගලයෙකු බවත් ඔහු සමාජයේ කෝටිපති දානපතියෙකු ලෙස හැසිරෙමින් රටේ නමක් දිනා ගත් අයෙකු බැවින් ඔහු කොටු කර ගැනීම සිදුකළ යුත්තේ ඊට අවශ්‍ය සාක්කි එක්කාසු කිරීමෙන් පසු බව දත් ඩිජිටල් වෝහාරික පරිගණක අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ඉන් පසුව දකුණු පළාතේ විදුහල් කිහිපයකට ගොස් තාක්‍ෂණය ඔස්සේ හඳුනාගත් පාසල් දරුවන් 9 දෙනෙකු සොයාගෙන ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වුණා.

මෙහිදී එම දරුවන් කපුවා විසින් ලිංගික ක්‍රියා සඳහා යොමු කරන ලද අයුරු රහස් පොලිස් නිලධාරීන් හමුවේ පවසන්නට වී තිබෙනවා.

එහෙත් නිලධාරීන්ට අවශ්‍ය වූයේ කපුවා ලිංගික අපචාරයන් සඳහා දරුවන් යොදා ගන්නා ආකාරය මුලින් ම ඔවුන්ගෙන් දැන ගැනීමටයි.

රහස් පොලිසිය පවසන්නේ මෙලෙස දරුවන්ට පාසල්වලට වෙහෙර විහාරවලට අත දිගහැර වියදම් කිරීම සඳහා ඔහු සතුව මහ ධනස්කන්ධයක් ඇති බවයි.

ඒ ඔහු දේවස්ථානය තුළ කරන මන්ත්‍ර ගුරුකම්, සෙත්ශාන්ති ඇතුළු නානාවිධ ක්‍රියා තුළින් විශාල මුදල් උපයන නිසායි.

දිවයිනේ ප්‍රසිද්ධ පුද්ගලයන්, රෙදිපිළි ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, පාතාල නායකයන්, කෝටිපතියන් මොහු ලවා නොයෙකුත් ගුරුහරුකම් කර ගැනීම සඳහා මැටරඹ දේවාලයට පැමිණෙන අතර ඔහු එක් ගුරුකමක්, ශාන්තිකර්මයක් සඳහා දහස් ගණනින් සහ ලක්‍ෂ ගණනින් මුදල් අය කරන බව ද රහස් පොලිසිය කියයි.

මේ සඳහා ඔහු විශාල මුදලක් වියදම් කර රූපවාහිනී වැඩසටහන් පවා පවත්වන අතර එහිදී ඔහු තමා කරන දේව හාස්කම් ගැන ද කරුණු කාරණා හෙළි කරයි.