hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 14, ප.ව. 3:24



මෙරට සංචාරයකට පැමිණ මහනුවර අම්පිටිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නතරව සිටියදී අතුරුදහන්වූ බව සඳහන් ඩෙන්මාර්ක් ජාතික 31 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුර පොත්තපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් අලගල්ල කඳු මුදුනේ තිබී හමුවූ බව මහනුවර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා පවසනවා.                               

KARE MUNK EBBESEN නම් මෙම ඩෙන්මාර්ක් ජාතික කාන්තාව මේ මස 10 දින කඩුගන්නාව ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා යන බව පවසා සංචාරක නිකේතනයෙන් පිටව ගියද 13 වනදා දක්වාම ඇය තම නිකේතනය වෙත නැවත නොපැමිණි බවට හෝටල් හිමිකරු විසින් මහනුවර මූලස්ථාන පොලිසියේ සංචාරක පොලිස් ස්ථානය වෙත පැමිණිලි කොට ඇති අතර තවද මෙම කාන්තාවගේ බඩු බාහිරාදියද හෝටල් කාමරය තුල දමා ගොස් ඇති බවද ඔහු පොලීසියට දැනුම් දී තිබෙනවා.                                                                                                                         

මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය හා සංචාරක පොලීසිය එක්ව සිදු කළ විමර්ශනයකදී හෙලිව ඇත්තේ මෙම සංචාරක කාන්තාව 10 දින කඩුගන්නාව ප්‍රදේශයෙන්  තිරෝද රථයක නැගී අලගල්ල ප්‍රදේශය බලා පිටත්ව ගොස් ඇති බවයි. 

වැඩිදුරටත් සිදු කළ විමර්ශනයකදී හෙළිව ඇත්තේ මෙම කාන්තාව අලගල්ල කඳු පාමුල දී ත්‍රිරෝද රථයෙන් බැස තනිවම කන්ද නැගීම සඳහා පිටත්ව ගොස් ඇති බවත්ය.

එම ලද තොරතුරු අනුව විශේෂ පොලිස් හා යුධ හමුදා කණ්ඩායමක් මෙන්ම විශේෂ කාර්ය බලකා සෙබළු කණ්ඩායමක්ද අලගල්ල කන්ද තරණය කොට සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කඳු මුදුනේ ගලකින් පහළට වැටී මරණයට පත්ව සිටි ඩෙන්මාර්ක් කාන්තාවගේ මෘත දේහය හමුවී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා කියා සිටියේ මෙම කාන්තාව කඳුමුදුනේ ගලකින් පහළට වැටී මිය ගොස් ඇති බවට සැක කරන නමුදු සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි.