hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2023 ජූලි 28, ප.ව. 2:52



කැකිරාව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිය නීතිඥ කාර්යාලය පවත්වාගෙන යන කඩ කාමරය කූඨ ලේඛන සකස් කොට අත්පත් කරගෙන සිටි බව කියන නීතිඥවරියකට එරෙහිව කැකිරාව දිසා අධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවකට අදාළ මුල් ලේඛන ලේඛනාගාර ලිපි ගොනුවෙන් ඉරා මුව තුළ දමාගෙන හපා ගිලින්නට උත්සහ කළ නීතිඥවරියක කැකිරාව පොලිසිය මගින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව පොලිසිය සඳහන් කළ ආකාරයට සිදුවීම මෙසේයි.

කැකිරාව අධිකරණයේ සේවයෙහි නියුතු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු සතුව කැකිරාව උසාවිය ඉදිරිපිට පිහිටි කඩ කාමරයක දීර්ඝ කාලයක් තිස්සේ එක්තරා නීතිඥවරියක් විසින් කුලී පදනම මත සිය කාර්යාලය පවත්වාගෙන ගොස් තිබෙනවා.

කාලයක් තිස්සේ මෙම කඩ කාමරය හිමිකරු ඉල්ලා සිටිය ත් නීතිඥවරිය ඉන් පිට වී යාම ප්‍රතික්ෂේප කර ඇත.

මේ සම්බන්ධව කඩකාමරයේ හිමිකාර නිතීඥවරයා කැකිරාව දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.

ඒ අවස්ථාවේදී, නීතිඥවරිය, කඩ කාමරය හිමි නීතිඥවරයාගේ ලිපි ශීර්ෂයක ඔහුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා කූඨ ලේඛන දෙකක් ඉදිරිපත් කර ප්‍රකාශ කර ඇත්තේ, එය ලක්ෂ විස්සකට ඔහු තමන්ට විකිණූ බව ත් දැන් එම කඩ කාමරයේ හිමිකම තමන් සතු බව ත් ය.

මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ, එකී අත්සන් තමන්ගේ නොවන බව ත් අත්සන පරීක්ෂා කිරීම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ත් ය.

ඒ අනුව, උසාවි නියෝගයක් මත අත්සන පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කර තිබෙනවා.

මේ අතර, විමර්ශනය කරගෙන යන අවස්ථාවේදී අධිකරණය මෙම නඩුව පවරා ඇති ආකාරය දෝෂ සහිත බව දන්වා තිබුණා.

එම නිසා අගතියට පත් පාර්ශවය නඩුව ඉල්ලා අස් කර ගෙන තිබුණා.

ඒ අතර, අත්සන් පරීක්ෂාව සඳහා යැවූ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබී තිබෙනවා.

එම වාර්තාව අනුව මෙම අත්සන් නොගැලපෙන බව ත්, ලේඛනයේ සඳහන් අත්සන ව්‍යාජ එකක් බව ත් තහවුරු කර තිබෙනවා.

මෙම ලේඛන ලැබුණු වහා ම අගතියට පත් පාර්ශවය එහි මුල් ලේඛනවල පිටපත් ලබාගෙන තිබෙනවා.

ඒ බව සැලවූ නීතිඥවරිය තමන් වෙත කූඨ ලේඛන සකස් කිරීම පිළිබඳ නඩුවක් පැවරෙන බව වටහාගෙන එම ලේඛන දෙක සම්බන්ධව ඉල්ලීමක් කිරීමට නීතිඥවරිය ලේඛනාගාරය වෙත ගොස් තිබුණා.

එහි රෙජිස්ට්‍රාර්වරයා එම ලේඛන පිටතට ගැනීම සඳහා ලේඛන භාරව සිටින නිලධාරිනිය වෙත සටහනක් යවා ඇති අතර ඇය සේප්පුවෙන් එම ලේඛන පිටතට ගත් අවස්ථාවේ එහි සිටි නීතිඥවරිය එම ලේඛන දෙක ඉරා සිය මුව තුළ දමාගෙන හපන්නට පටන්ගෙන ඇත.

එම සිදුවීම මුළුමනින් ම වීඩියෝගත කළ ලේඛනාගාර කාර්ය මණඩලය මේ සම්බන්ධව කැකිරාව පොලිස් ස්ථානයට පැමිණිලි කොට තිබෙනවා.

ඒ අනුව, මෙම ස්ථානයට පැමිණි කැකිරාව පොලිසියේ නිලධාරීන් නීතිඥවරිය අත්අඩංගුවට ගෙන ඇය හපමින් සිටි ලේඛන කොටසක් ද සොයාගෙන ඇත.

මේ වන විට ඇය පොලිස් අත්අඩංගුවේ පසු වන අතර අද (ජූලි 28) කැකිරාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.