hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 30, ප.ව. 3:20



මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් කොටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඊයේ (29) උදය වරුවේ බස්නාහිර සහ දකුණු පළාත් තුළ කරන ලද පැය 7ක විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 285 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූ බව වාර්තා වෙනවා.

මෙය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මෑත ඉතිහාසයේ සියලු ම විමර්ශන ඒකක සම්බන්ධීකරණයෙන් කළ සුවිශේෂී මෙහෙයුමක්.

මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලිසියත් විශේෂ කාර්ය බළකායත් මූලිකත්වය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ බුද්ධි අංශ සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙහෙයුමට සහාය දැක්වුවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ඍජු අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ මෙම සුවිශේෂී මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා.

මීට සති කිහිපයකට පෙර සිට බුද්ධි අංශය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් කරන ලද රහස්‍ය සැලසුමකට අනුව බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් හඳුනා ගැනීමට රහසිගත බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

මෙම බුද්ධි මෙහෙයුමේ මූලික අරමුණ වූයේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් කොටු කර ගැනීමට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනාගැනීමයි.

එම තොරතුරු ඔස්සේ මෙම ඒකාබද්ධ මෙහෙයුම ඇරඹුණේ ඊයේ අලුයම පහටයි.

ඒ සඳහා ඩ්‍රෝන කැමරා සහ හෙලිකොප්ටර් යානා යොදා ගෙන තිබුණා.

මෙහෙයුම කරන කාලය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නවුන්, සංවිධානාත්මක අපරාධකරුවන් පළා යාම වළකා ගැනීම සඳහා ගුවන් හමුදාව විසින් එම ඩ්‍රෝන කැමරා සහ හෙලිකොප්ටර් යානා යොදාගෙන තිබීම දැකිය හැකි වුණා.

ජාවාරම්කරුවන් පළායන්නේ ද යන්න දැක ගැනීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවල නැගුණු ගුවන් භටයන් අධිතාක්ෂණික කැමරා උපයෝගි කර ගනිමින් ගුවනේ සිට නිරීක්ෂණය කරන්නට වුණා.

ඊට අමතරව ඩ්‍රෝන කැමරා ද කොළඹ හා ඒ අවට අහස් කුස තුළ සැරිසරන අයුරු දැකගත හැකි වුණා.

මෙම මෙහෙයුමේ විශේෂත්වය වූයේ සියලු ම ආරක්ෂක අංශ නිලධාරීන් එකිනෙකාට සම්බන්ධ වෙමින් ක්‍රියාකිරීමයි. එය ද මෑත ඉතිහාසයේ දක්නට ලැබූ සුවිශේෂී සිදුවීමක්.

මෙම මෙහෙයුම රහස්‍ය සැලසුමකට අනුව එක වර ම ක්‍රියාත්මක වීම නිසා බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිය නිවෙස්වලින් සහ තිප්පොළවලින් පැන යාමට නොහැකි වී තිබෙනවා.

කෙසේ වෙතත් දහවල් 12.00ට ආසන්න වෙද්දී ඒ ඒ වසම් තුළ ස්ථාපනය කර ඇති පොලිසිවලට අල්ලාගත් සැකකරුවන් කොටු කර ගනු ලැබුවා.

මෙම මෙහෙයුම නිසා ප්‍රාදේශීය පොලිස් වසම් තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නවුන් විශාල පිරිසක් කොටු වූවා.

බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 285 දෙනකු අත්අඩංගුවට ගැනීම මෙම ඒකාබද්ධ මෙහෙයුමට හැකි වුණා.

ඒ අතරට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගගන්නා ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ සහ ඒවායේ යෙදෙන්නන් 60 දෙනෙක් ඇතුළත් වූවා.

බස්නාහිර පළාත සහ දකුණු පළාත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථාන වූ බැවින් නිලධාරීන්ගේ මූලික ඉලක්කය වූයේ එම පළාත් දෙක තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගෙන එම පළාත් තුළ මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කර දැමීමයි.

පැය 7ක් තුළ කළ එම මෙහෙයුමෙන් නුගේගොඩ කොට්ඨාසයෙන් සැකකරුවන් 33ක් ද, ගල්කිස්ස කොට්ඨාසයෙන් පුද්ගලයන් 70ක් ද, මීගමුව කොට්ඨාසයෙන් 4ක් ද, ගම්පහ කොට්ඨාසයෙන් 13ක් ද, කොටු කර ගැනීමට නිලධාරීන්ට හැකි වුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තව පැවැතෙන කොළඹ දිසාවට අයත් කොළඹ උතුර කොට්ඨාසයෙන් සැකකරුවන් 24ක්, කොළඹ දකුණෙන් 30ක් සහ කොළඹ මධ්‍යම කොට්ඨාසයෙන් සැකකරුවන් 10ක් ද අත්අඩංගුවට ගැනුණා.

එමෙන් ම, පානදුර කොට්ඨාසය සහ කළුතර කොට්ඨාසවල හඳුනාගත් ස්ථානවලට කඩාපැන්න නිලධාරීහු පානදුර කොට්ඨාසයෙන් පුද්ගලයන් 12ක් ද, කළුතර කොට්ඨාසයෙන් පුද්ගලයන් 14ක් ද අත්අඩංගුවට ගත්තා.