hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 අගෝස්‍තු 11, ප.ව. 4:46



සහන මිලකට වාහන ලබා දෙන බව පවසා කතෝලික පුජකවරයෙකු තමන්ගෙන් රුපියල් 32,6500.00 ක මුදලක් වංචා කර ඇති බව ආරච්චිකට්ටුව – මුතුපන්තිය ගම්මානයේ පදිංචිකරුවන් 11 දෙනෙකු කියා සිටිනවා.

සිද්ධියට සම්බන්ධ පුජකවරයා මේ වන විට කෝකිලායි ප්‍රදේශයේ දේවස්ථානයක මීසම් සේවක ලෙස සේවය කරමින් සිටින බවත් එම පූජකවරයාගේ ඥාතීන් හලාවත – විල්පත ප්‍රදේශයේ පදිංචිව සිටින බවද සිද්ධියට මුහුණ දී සිටින පිරිස කියා සිටිනවා.

මීට වසර කීපයකට තම ගමේම පදිංචිකරුවෙකු අතර මැදියෙකු ලෙස යොදා ගනිමින් අදාල පුජකවරයා මුලින්ම මුදල් එකතු කිරීම සිදු කළ බවද මුතුපන්තිය ගම්වාසීන් සදහන් කරයි.

ඒ අනුව මුදල් ලබා දුන් බොහෝ දෙනෙකුට විවිධ වර්ගයේ වාහන සහ ත්‍රීරෝද රථ ලබා දීමටද පූජකවරයා කටයුතු කර තිබෙනවා.

දින කීපයකින් විවිධ හේතු සදහන් කර එම වාහන මිලදී ගත් අයට ආපසු මුදල් ලබා දී පුජකවරයා විසින්ම රැගෙන ගොස් ඇති බවද මුතුපන්තිය ගම්වාසීන් කියයි.

ප්‍රදේශවාසීන්ගේ හිත් දිනා ගැනීමට සමත් වී ඇති පුජකවරයා තව තවත් පිරිසකගෙන් සහන මිලට වාහන ලබා දෙන බව පවසමින් මුදල් එකතු කිරීම සිදු කර තිබෙනවා.

නමුත් මුදල් ලබා දුන් කිසිවෙකුට මේ වන තුරු වාහන ලැබී නොමැති බවද ඔවුන් කියා සිටිනවා.

මේ ආකාරයටම සහන මිලට වාහන ලබා ගැනීම සදහා පුජකවරයාට මුදල් ලබා දී බලාපොරොත්තු සුන් වූ පිරිසක් අග්‍රාමත්‍ය කාර්යාලයට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදෙස් අනුව ඒ සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස වංචා විමර්ශණ අංශය විසින් විමර්ශණයක් සිදු කර අදාල පුජකවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ පූජකවරයා විසින් මහජනතාවගෙන් ලබා ගත් මුදල් වාහන ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව තවත් කාන්තාවකට ලබා දී ඇති බවයි.

ඒ අනුව අදාල කාන්තාවද වංචා විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අදාල කාන්තාව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටින අතර පූජකවරයා මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

හලාවත – ජුඩ් සමන්ත