hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 05, පෙ.ව. 9:33



ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයක් අතරතුර විත්තිකූඩුවේ සිටි සැකකරුවකුට ඊයේ (04) වෙඩි තබා වෙඩික්කරු පලා ගොස් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් විත්තිකූඩුවේ සිටි සැකකරුට අනතුරක් සිදු වී නැති අතර අනූනවයෙන් ඔහු දිවි බේරා ගත් බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළා.

අධිකරණ ශාලාවේ නඩු විභාග වන අවස්ථාවේ පිස්තෝලයක් සඟවා ගෙන ශාලාවට ඇතුළු වී එහි වාඩි වී සිටි වෙඩික්කරු සැණින් ක්‍රියාත්මක වී මෙලෙස විත්තිකූඩුවේ සිටි සැකකරු ඉලක්ක කොට වෙඩි තබා තිබෙනවා.

එලෙස වෙඩි තබන අවස්ථාවේදී ඉලක්කය වැරදීම නිසා විත්තිකූඩුවේ සිටි සැකකරුට හානියක් සිදු වී නැහැ.

සැණින් ක්‍රියාත්මක වූ වෙඩික්කරු ඔහු ළඟ තිබූ පිස්තෝලය ද සමගින් අධිකරණ ශාලාවෙන් පිටට දිව ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රයේ පොලිසිය හා බන්ධනාගාර නිලධාරීන් ද සිට ඇති අතර වෙඩි තබා පලා යන සැකකරු මෙල්ල කර ගැනීමට කිසිවකුට හැකියාව ලැබී නැහැ.

පසුව වෙඩික්කරු ගල්කිස්ස අධිකරණ ශාලාවේ බැම්මේ එල්ලී එළියට පැන නිරුපද්‍රිතව පලා ගොස් තිබෙනවා.

ක්‍රෙඩිට් කාඩ් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු වැල්ලවත්ත පොලිසිය මගින් ඊයේ (04) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබෙනවා.

ඒ අනුව ඊයේ (04) දහවල් 1.20ට පමණ සැකකරු විත්තිකූඩුවට ගොඩ වූ සැණින් ක්‍රියාත්මක වූ වෙඩික්කරු ඔහු ඉලක්ක කොට වෙඩි තැබීම සිදු කර තිබෙනවා

මෙම විත්තිකූඩුවේ සිටි සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය මෙහෙයුම් අරඹා තිබෙනවා.

අධිකරණ ශාලා පරිශ්‍රයට ඇතුළු වී සිදු කළ මෙම වෙඩි තැබීම බරපතළ සිද්ධියක් යැයි ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

2017 වසරේදීද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ තිබී රිවෝල්වරයක්, පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක් සොයා ගැනුණු අතර, පසුව හෙලි වුණේ අපරාධ කල්ලි සාමාජිකයෙකු ඝාතනය කිරීම සඳහා ඒවා රැගෙනවිත් ඇති බවයි.

කෙසේවෙතත් දින 66 ක් තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් සංඛ්‍යාව 20 ක්.

ඉන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.