hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 05, පෙ.ව. 11:55



පිටිගල මානමිපිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශිය සභාව අසල මාර්ගය අයිනේ රැදී සිටි කාන්තාවක් කුඩා ලොරි රථයකින් හප්පා ඇය මරණයට පත්වීම රිය අනතුරකින් සිදුවූවක් නොව එය සංවිධානාත්මකව කළ ඝාතනයක් බව ඊයේ (04) ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පිටිගල පොලීසිය පවසයි.

ඝාතනය සැලසුම් කළ බව කියන මිය ගිය කාන්තාව විවාහවීමට සිටි ඇයගේ ඥාති පුතෙකු මාපලගමදී පෙරේදා (03) රෑ සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

මේ ඝාතනය සදහා යොදා ගත් කුඩා ලොරි රථය ඇය ඝාතනය කළ දිනට පසු දින මාපලගම ප්‍රදේශයේ මාර්ගයක නතර කර දමා තිබියදී සොයා ගත් බවත් එහෙත් කාන්තාව ඝාතනය කළ රියදුරා පලාගොස් සැගවී සිටින බවද පොලීසිය පවසයි.

අප්‍රේල් මස 30 වැනිදා පස්වරුවේ ලොරියක් භාවිතා කරමින් සිදු කළ මේ ඝාතනයෙන් මිය ගොස් සිටියේ පිටිගල තල්ගස්වල දියකිතුල්කන්ද වත්තහේන පදිංචි නිරෝෂා උදයංගනී නමැති තිස්දෙහැවිරිදි කාන්තාවක් බවද පොලීසිය කියයි.

කාලයක් විදෙස් ගතව සිට විශාල මුදලක් මෙරටට ගෙන ආ මිය ගිය කාන්තාව සමග මේ ඝාතනය සැලසුම් කළ දැනට සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් සැකකරු ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු වෙමින් ඇය සමග ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවද පොලීසිය පවසයි.

ඇයගේ සබ්බ සකල මනාවම හූරා පෙරාගත් සැකකරු ඇය කසාද බැදීම මග හැරීම සදහා ඇය ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණයවූ බවද පොලීසිය කියයි.

සැකකරුගේ සැකසිතෙනා හැසිරීම් සහ තවත් හේතු කිහිපයක් නිසා මෙය රිය අනතුරක් නොව සංවිධානාත්මක ඝාතනයක් විය හැකි බවට සැක කළ නිසා ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙය ඝාතනයක් බවට අනාවරණය කර ගත් බවද පොලීසිය කියයි.

විසිපස් හැවිරිදි සැකකරු මිය ගිය කාන්තාවගේ ඥාති පුතෙක් වන බවත් ඔහු මේ කාන්තාව ඝාතනය කිරීමට පලා ගොස් සිටින ඝාතක රියදුරාට ඒ සදහා රුපියල් ලක්ෂ විස්සක් දී ඇති බවට අනාවරණයවූ බවද පොලීසිය කියයි.

පලා ගොස් සැගවී සිටින මේ ඝාතක රියදුරා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට කණ්ඩායමක් යොදවා ඇති බවද පොලීසිය කියයි.

මේ ඝාතනය සැලසුම් කළ සැකකරු අද (04) පස්වරුවේ ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

පිටිගල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.