hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 23, පෙ.ව. 12:10



ගලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස්  මුදලක් ලබා දීමට උත්සාහ කළ පුද්ගලයෙකු ගලේවෙල පොලිසිය අපරාධ අංශය මගින් ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ  අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශීය පදිංචි මොහිදීන් මොහොමඩ් නැමැති 64 හැවිරිදි අයකු බව ගලේවෙල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ පුතෙකු ගලේවෙල ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසට පැමිණ සිටින බව ප්‍රකාශ කරමින් තම පුත්‍රයා එම නිවසෙන් ගෙනත් තමා වෙත භාර දෙන ලෙස ඉල්ලමින් මෙම අල්ලස් මුදල ලබා දීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවටට පත් සැකකරු සහ තවත් පිරිසක් පැමිණ ගලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා හමුවී තමන්ගේ පුත්‍රයා ගලේවෙල ප්‍රදේශයේ පෙම්වතිය ගේ නිවසේ රැඳී සිටින බවත් ඒ පිළිබඳව ඔවුන් ගෙන්වා අවවාද කොට පුත්‍රයා තමා වෙත ලබා දෙන්නැයි ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබුණා.

ඒ අනුව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතා ගලේවෙල පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා කැඳවා එම පැමිණිල්ල සටහන් කොට විමර්ශනයක් කරන ලෙස උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට පැමිණි අනෙක් පිරිස සුළු පැමිණිලි අංශයට පිටව යද්දී අත්අඩංගුවට පත් සැකකරු එහි රැඳී සිටිමින් ස්ථානාධිපතිවරයා පොලිසියේ පොතක් කියවමින් සිටියදී එක වැරම කවරයක් පොත් අස්සට දමා ඇතැයි පොලිසිය කියයි.

 පසුව ස්ථානාධිපතිවරයා එය විවෘත කර බැලීමේදී රුපියල් 5000 නෝට්ටුවක් ද මෙම මුදල් කුමකටදැයි ඔහුගෙන් ප්‍රශ්න කොට තිබෙනවා.

පසුව ඔහු ප්‍රකාශ කොට ඇත්තේ තමාගේ අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා සන්තෝෂම් මුදලක් ලෙස එය ලබාදීමට තමා උත්සාහ කළ බවයි.

ස්ථානාධිපතිවරයා ගලේවෙල පොලිසිය අපරාධ අංශයේ  ස්ථානාධිපතිවරයා කැඳවා රාජකාරියට බාධා කිරීම් සහ අල්ලස් ලබාදීමට උත්සාහ කිරීම් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පරීක්ෂණයක් කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයා පිළිබඳව ගලේවෙල පොලිසියේ අපරාධ අංශය පරීක්ෂණ ආරම්භ කොට ඔහු පිළිබඳව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට 23 කරුණු වාර්තා කොට අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස දන්වා ඇතැයි පොලිසිය කියයි.