hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 15, ප.ව. 7:45



දිවයිනේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ දියණියකට අයත් රුපියල් ලක්ෂ 25ක් වටිනා මැණික් ඇල්ලූ මුද්දක් සොරාගත් මේසන් බාස්වරයෙකු කිරින්ද පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමැති දියණිය ඇගේ සැමියා ඇතුළු පිරිසක් සමග යාල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණ සිට ඇති අතර ඉන් අනතුරුව ඔවුන් එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා.

පෙරේදා දහවල් ඔවුන් එම හෝටල් පරිශ්‍රයේ පිහිටි නාන කාමරවල දියනාමින් සිට ඇත. එක පෙළට පිහිටා ඇති නාන කාමර වෙන්කර ඇත්තේ, කුඩා බිත්තිවලින් බව පොලිසිය කියයි.

එහිදී ඇමැති දියණිය එක් නාන කාමරයක දිය නෑමට පෙර ඇගේ අත තිබූ මැණික් මුදුව ගලවා කාමර බිත්තිය මත තබා තිබෙනවා.

ඒ මොහොතේ නාන කාමරයක සිටි අයෙක් සර්පයෙක් පැමිණ ඇති බවට කෑගැසීමෙන් අනතුරුව ඇමති දියණිය ද නාන කාමරයෙන් පිටතට පැමිණ තිබෙනවා.

ඇයට තම මුද්ද මතක් වී ඇත්තේ ඉන් පසුවයි.

එහෙත් ඒ වන විට මුද්ද අතුරුදන් වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

පසුව මේ බව හෝටල් කළමනාකරුට දැනුම් දීමෙන් පසු මේ බව කිරින්ද පොලසියට පැමිණිලි කර තිබෙනවා.

පසුව නිලධාරීන් කළමනාකරුගෙන් සහ එහි සේවකයන්ගෙන් ප්‍රශ්න කර තිබෙන අතර පසුව හෝටලයේ සේවය කළ පෙදරේරුවකු ගැන සැක සිතූ පොලිසිය පසුව හෝටලයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කොට ඒ බව තහවුරු කර ගෙන තිබෙනවා.

අනතුරුව ඔහුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ තමා හෝටලයේ වැසිකිළිය පිහිටි ප්‍රදේශය අසලින් යද්දී බැම්මක් උඩ තිබී එම මුද්ද ගත් බවයි.

ඒ හිමිකරුවකු නොදුටු නිසා බව ද ඔහු පවසා තිබෙනවා..

දකුණු පළාතේ මාතර – තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස් සත කිරින්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වනවා.