hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 07, පෙ.ව. 6:16



මුල්ලේරියා බැංකුව හන්දිය චතුර බේකර්ස් ඉදිරිපිටදී සිදු කළ එම වෙඩි තැබීමෙන් මුල්ලේරියාව පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වූ සුමුදු රුක්ෂාන් පින්තු නමැත්තා ජිවිතක්ෂයට පත් වුණා.

සුමුදු මුල්ලේරියාව, කොටිකාවත්ත, අංගොඩ, වැලිවිට ආදී ප්‍රදේශවල ජනප්‍රිය චරිතයක් වුණා.

මීට වසර කිහිපයකට පෙර සුමුදුගේ ජීවිතයේ නොයෙකුත් හැලහැප්පීම් තිබූ අතර ඔහුට නොයෙකුත් චෝදනා පවා එල්ල වී තිබෙනවා.

සුමුදු වෙඩි තබා මරා දමන්නේ මුල්ලේරියාව බැංකුව හන්දිය අසල ඇති ඉඩමක සිටියදී.

මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹි මුල්ලේරියාව පොලිසිය පවසන්නේ බැංකුව හන්දිය ආසන්නයේ ඇති ඉඩමක වෙයාර් හවුස් එකක් සහ හාඩ්වෙයාර් එකක් පවත්වාගෙන යෑම සඳහා ඔහුත් තවත් පුද්ගලයකුත් එක්ව කටයුතු කර ඇති බවයි .

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ සුමුදු එම ඉඩමට වරින්වර පැමිණ ඇති බව පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

පොලී රොෂාන් නමැත්තාගේ බාල පුතකු සමඟ එකතුව යාඩ් එකක්ද පවත්වාගෙන ගිය සුමුදු නාඳුනන තුවක්කුකරුවන්ගෙන් වෙඩි කන මොහොතේ සිට ඇත්තේ ගෝලයකුත් සමඟ එක්ව එම ඉඩමේ ගේට්ටුව සෝදා පවිත්‍ර කරමින්.

ඒ මොහොතේ ආහාර ගැනීම සඳහා රොෂාන්ගේ පුතා සිය මිත්තණියගේ නිවෙසට ගොස් ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් සුමුදු වැඩබිමේ ගේට්ටුව අසල රැඳී සිටින අයුරු දැක තිබෙනවා.

ඒ සමඟ යතුරුපැදියේ පිටුපස සිටි තුවක්කුකරු සුමුදුට වෙඩි තැබීමේ අදහසින් නයින් එම්. එම්. පිස්තෝලය අතට ගෙන එය ලෝඩ් කර තිබෙනවා.

ඒ සමඟම ඉන් නිකුත්වූ උණ්ඩයක් ඉබේම අහස දෙසට එල්ල වී තිබෙනවා.

ඒ වනවිට සුමුදු සිට ඇත්තේ තුවක්කුකරුට මීටර 300ක් ඈතිනි.

වෙඩි ශබ්දය සුමුදුට ඇසිණි.

“මොකක්ද ඒ සද්දේ…”

ඔහුට කියාගත හැකි වූයේ එපමණයි.

යතුරුපැදිය සුමුදු රැඳී සිටි ස්ථානය වෙත එසැණින් පැමිණි තුවක්කුකරු ගිනි අවිය සුමුදු වෙත එල්ල කරමින් තවත් උණ්ඩයක් මුදා හැර තිබෙනවා.

එය වැදුණේ ගේට්ටුවටයි.

ඒ සමඟ තවත් උණ්ඩයක් නිකුත් වූ අතර එය සුමුදුගේ ඉළ පෙදෙසට වැදි තිබෙනවා.

වෙඩි පහරකෑ සුමුදු එසැණින් ජීවිතය බේරා ගැනීම සඳහා දිව යන්නට වී ඇති අතර ඔහු සමඟ රැඳුණු ගෝලයා අනෙක් දෙසට දිව ගොස් තිබෙනවා.

වෙඩි පහර කෑ සුමුදු මඳ දුරක් ගොස් වෙයාර් හවුස් එකත් තවත් ගොඩනැඟිල්ලක් අතරින් තිබූ කුඩා ඉඩක් අතරට දිව ගියද එතැනින් එහාට යෑමට නොහැකිවූ ඔහු එතැන සැඟවී තිබෙනවා.

සුමුදුට වෙඩි තැබූ තුවක්කුකරුවන් යළි සිය යතුරුපැදිය හරවාගෙන පැමිණ සුමුදු දිව ගියේ කොහේටදැයි නිරීක්‍ෂණය කර ඇති අතර ඒ සමඟ ඔවුන් දුටුවේ මාර්ගයේ රුධිරය වැටී තියෙන අයුරුයි.

එතැනින් යතුරුපැදියෙන් බැසගත් තුවක්කුකරු සුමුදු දිව ගිය දෙබොක්කාවට ගොස් එහි සැඟව සිටි සුමුදු වෙත තවත් වෙඩි දෙක තුනක් තබා පැමිණි යතුරුපැදියෙන්ම පලා ගොස් තිබෙනවා.

රෝහලට ඇතුළත් කරන විටත් සුමුදු රුක්‍ෂාන් මියගොස් තිබෙනවා.

සුමුදු රුක්ෂාන් කඩුවෙල නගරාධිපති බුද්ධික ජයලාල් ගේ ඥාතියෙක් වන අතර මුල්ලේරියාව ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක්.

ඊට අමතරව ඔහු පාතාල නායකයකු වූ ‘කරාටේ ධම්මිකගේ’ ද ඥාතියෙක්.

අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ ගෝලයකු වන ‘ජිල්ලා’ගෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු රුක්ෂාන්ට මරණ තර්ජන එල්ලවී තිබුණු බවට මේ වන විට තොරතුරු හෙළිවී තිබෙනවා.

ජිල්ලා වරක් සුමුදු රුක්ෂාන්ට තර්ජනය කර ඇති බවද හෙළිවී තිබෙනවා.

කොලොන්නාව හෙන්රි ඕල්කට් මහා විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ සුමුදු රුක්ෂාන් අඹතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ප්‍රාදේශීය සභාවට පළමුවරට ඉදිරිපත් වී උපසභාපති ධුරය ද හෙබවූ අයෙක්.

මෙවර ඔහු ප්‍රාදේශීය සභාවට තේරී පත්ව ඇත්තේ දෙවැනි වරටය.

ඒ වැඩිම මනාප ප්‍රතිශතයකින්.