hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 23, ප.ව. 1:03



බීමත් තරුණයන් දෙදෙනෙකුගේ පා පහරක් හේතුවෙන් දුම්රියෙන් ඇදවැටුණ ආරක්ෂක නියාමකවරයෙක් මිය ගොස් තිබෙනවා.

කොළඹ කොටුවේ සිට යාපනය බලා ගමන්ගත් දුම්රියක සේවයේ යෙදී සිටි දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකුයි අද අලුයම මෙලෙස මියගොස් ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඔරුතොට ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසු වූ දුම්රිය ආරක්ෂක නියාමකවරයෙක්.

මගීන් දෙදෙනෙකු දුම්රිය තුළ මත්පැන් පානය කරන බවට එහි ගමන්ගත් වෙනත් මගීන් පිරිසකගෙන් ලද පැමිණිල්ලකට අනුව අදාල ආරක්ෂක නියාමකවරයා එම ස්ථානයට පැමිණ තිබෙනවා.

පසුව බීමත් මගීන් දෙදෙනා එම මැදිරියෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන් මැදිරියෙන් පිටතට ගෙන යන අවස්ථාවේ මැදිරියේ දොරටුව අසලදී බීමත් පුද්ගලයන් දෙදෙනා ආරක්ෂක නියාමකවරයා දුම්රියෙන් ඉවතට විසිවන ආකාරයට පා පහරක් එල්ලකර ඇති බවයි පැවසෙන්නේ.

දුම්රියේ ගමන්ගත් මගීන් විසින් බීමත් තරුණයන් දෙදෙනා අල්ලාගෙන දුම්රිය ආරක්ෂක අංශ වෙත භාරදී තිබෙනවා.

අනතුරුව ඔවුන් දෙදෙනා මීරිගම පොලිසියට භාර දී ඇති අතර සැකකරුවන් 31 සහ 23 වයස්වල පසුවන නොච්චියාගම හා අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන්.

119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වේයන්ගොඩ පොලීසියේ නිලධාරීන් දුම්රිය මාර්ගය දෙපස පරික්ෂා කිරීම් සිදුකර ඇති අතර, වදුරව දුම්රිය ස්ථානයේ සිට මීටර 100ක් පමණ මීරිගම දෙසට වන්නට තිබී අදාළ දුම්රිය ආරක්ෂක නියාමකවරයාගේ සිරුර සොයා ගෙන තිබෙනවා.