hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 18, පෙ.ව. 9:36



ජනාධිපති ජෝ බයිඩන්ව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ඇතුළු ලෝක නායකයන් විසින් ගණන් නොගන්නා බව ඇමරිකාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියා.

අලෙක්සේයි නවාල්නිගේ මරණය පිළිබඳ සඳහන් කරමින් ඔහු කියා සිටියේ එම මරණය පුටින්ගේ දුර්වලතාවයක් පෙන්නුම් නොකරන බවයි. ඉන් පෙනෙන්නේ පුටින්ට එවැනි සිද්ධියකින් අනතුරුව ද ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විරෝධයකට ලක් නොවී කටයුතු කළ හැකි යයි තිබෙන විශ්වාසය බව බෝල්ටන් පවසනවා.

රුසියාවට විරුද්ධව බයිඩන් ආණ්ඩුව විසින් ගන්නා ලද පියවර හේතුවෙන් රුසියාව තවත් ශක්තිමත් වීම පමණක් සිදුව ඇතැයි බෝල්ටන් පවසනවා. රුසියානු ආර්ථිකය කඩාවැටී නැති අතර යුක්‍රේන ආර්ථිකය ඉතා දුර්වල අඩියකට වැටී ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

වඩා පුළුල් යුද්ධයක් ඇතිවේ යයි වන බියෙන් බයිඩන් තද තීරණ නොගත් බවත් එයින් ඔහු දුර්වල නායකයකු ලෙස ප්‍රකටව ඇති බවත් බෝල්ටන් පවසනවා. තවද ඔහුගේ අදහස වන්නේ ඇෆ්ඝනිස්ථානයෙන් 2021 දී පසුබැසීම ඇමරිකාවේ දුර්වලත්වය පෙන්වූ බවයි. එය පුටින්ට යුක්‍රේනයේ යුද්ධය ඇරඹීමට අවශ්‍ය විශ්වාසය ගොඩනැගූ බව ද ඔහු කියා සිටිනවා. එමෙන්ම බයිඩන්ගේ නායකත්වය හේතුවෙන් චීනය​, උතුරු කොරියාව ආදී රටවල් ද ඇමරිකාව වෙත දැක්වූ සැලකිල්ල අඩුව ඇතැයි ද බෝල්ටන් කියා සිටිනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන අදහස් දක්වමින් බෝල්ටන් අවධාරණය කළේ ට්‍රම්ප් නේටෝව සමග ආරවුල් සාදාගැනීම යනාදී කරුණු අයහපත් තත්ත්වයක් බවයි. ඔහුට ආරක්ෂාව පිළිබඳ නිවැරදි අදහසක් නැතැයි ද ඔහු ජනාධිපති ලෙස පත්වීම මගින් බරපතල ගැටළු නිර්මාණය කරනු ඇතැයි ද බෝල්ටන් කියා සිටිනවා.

යුධවාදියකු ලෙස සැලකෙන ජෝන් බෝල්ටන් ට්‍රම්ප් යටතේ කලක් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළා.