hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජූනි 10, ප.ව. 12:08



යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ජර්මනිය තුළ පවත්වන ලද ඡන්ද විමසීමේදී එරට අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (AfD) පක්ෂය සමස්ථ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 15.6 ක් ලබාගෙන දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

පැරණි නැගෙනහිර ජර්මනියේදී ඔවුන් ඉතා සාර්ථක වී ඇති අතර එහිදී පළමු ස්ථානයට පත්ව ඇති බව ද පෙන්නුම් කෙරෙනවා.

මෙම ප්‍රතිඵල අනුව​ ඔවුන්ට ජර්මනිය තුළ ඇති යුරෝපා පාර්ලිමේන්තු ආසන 96 න් 15 ක් හිමිවනවා.

සංක්‍රමණික විරෝධී මතවාදයක් ඔස්සේ තරග කළ එම පක්ෂය යුක්‍රේනයට අවි සැපයීමට ද එරෙහි වන පක්ෂයක් වනවා.

මේ අතර මෙම මැතිවරණයේදී ක්‍රිස්තියානු ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව සියයට 23 ක් ඡන්ද ලබාගනිමින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. පාලක සන්ධානයේ ප්‍රධාන සාමාජිකයා වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට 14.1 ක ඡන්ද ප්‍රතිශතයක් සමග තෙවැනි ස්ථානයට වැටී ඇති අතර සන්ධානයේ අනෙක් පාර්ශවකරුවන් වන හරිත පක්ෂය සහ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද බරපතල පසුබැසීමකට ලක්ව තිබෙනවා.

ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ නායක ෆෙඩ්රික් මර්ට්ස් කියා සිටියේ ජනතාව විසින් චාන්සලර් ඔලාෆ් ෂොල්ට්ස් වෙත පැහැදිලි පණිවිඩයක් ලබාදී ඇති බවයි. පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ඔහු ගමන්ගත් මාර්ගයෙහි තවදුරටත් ගමන් කළ නොහැකි බව ජනතාව ප්‍රකාශ කර ඇතැයි මර්ට්ස් කියා සිටියා.