hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 ජනවාරි 21, ප.ව. 1:49



මේ මාසය අවසන් වනවිට ඊශ්‍රායලයේ උතුරුදිග ප්‍රදේශයන් හි ආරක්ෂාව පිළිබඳ හිස්බුල්ලා සංවිධානය සමග කිසියම් එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් එම සංවිධානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සලකා බලමින් සිටින බව වොෂිංටන් පෝස්ට් පුවත්පත පවසනවා.

බටහිර සහ ලෙබනන් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් උපුටා දක්වමින් එම පුවත්පත පවසන්නේ මේ බව ඊශ්‍රායලය විසින් බටහිර රටවලට දන්වා ඇති බවයි.

ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් දිනකට පසු හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය වෙත ප්‍රහාර ආරම්භ කළා. ඔවුන් තදබල ප්‍රහාරයන් වෙත මෙතෙක් එළඹී නැති වුවද නිරන්තර ප්‍රහාරයන් උතුරුදිග ඊශ්‍රායලය වෙත එල්ල කරනවා. ඊශ්‍රායලය ද සිය හමුදාවෙන් කොටසක් මෙන්ම ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් කොටසක් ද උතුරු පෙරමුණේ රඳවා ඇති අතර උතුරුදිග ජනාවාස ගණනාවකින් ජනයා ඉවත් කර තිබෙනවා.

ලෙබනනයට එරෙහි දැවැන්ත ප්‍රහාරයක් පිළිබඳ බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයා තරමක් අදිමදි කළ ද ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට් සහ හමුදාපති හර්ට්සි හලේවි ඒ සඳහා තදින්ම පෙනී සිටින බව ද වාර්තා වනවා.

ගාසා තීරයේ සටන් ආරම්භ වන සමයෙහි ඇමරිකාව විසින් මෙම කලාපයට ගුවන් යානා ගෙනයන නෞකා ඇතුළුව නාවික බල ඇණි එවූ අතර එහි අරමුණ වූයේ මෙම ප්‍රදේශයේ සටන් ඇතිවීම වැළැක්වීම බවයි විශ්වාස කෙරෙන්නේ. විශේෂයෙන්ම හමාස් සහ හිස්බුල්ලා සංවිධාන දෙකම සමග එකවර යුධ වැදීමට ඊශ්‍රායලයට ඇති හැකියාව පිළිබඳ ඇමරිකාව සැක පළ කළේ යයි ද වාර්තා වනවා.