hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 18, පෙ.ව. 9:21



අව්දීව්කා නගරය සම්පූර්ණයෙන් මුදාගත් බව ඊයේ රුසියාව නිවේදනය කළා. ඒ යුක්‍රේනියානුවන් එම නගරයෙන් පිටවන බව නිවේදනය කර පැය කිහිපයකට පසුවයි.

2022 පෙබරවාරියේ සිටම ගැටුම් පැවති අව්දීව්කා ප්‍රදේශය ඒ වනවිට පැවතියේ යුක්‍රේනය අතයි. කෙසේ වෙතත් එය දන්යෙත්ස්ක් (Donetsk) නගරය ආසන්නයේ ස්ථානයක් වූ බැවින් රුසියාවට ඉතා වැදගත් ස්ථානයක් වුණා. නගරය සඳහා එතැන් පටන්ම බරපතල ගැටුම් සිදුවුණා. වසර දෙකකට පසුව යුක්‍රේනියානුවන් එම නගරයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

මෙම පරාජය රුසියානුවන් සතු පිරිස් බල ශක්තිය සහ යුධ ශක්තිය හේතුවෙන් සිදුවූවක් බවයි බටහිර විශ්ලේෂකයන් ඇතැමෙක් පෙන්වා දෙන්නේ. යුක්‍රේනය සඳහන් කළේ මෙම සටනේදී තමන්ට සිදුවූවාට වඩා බරපතල හානි රුසියාවට සිදුවුණ බවයි.

මේ අතර රුසියාව සඳහන් කළේ තමන් “දන්යෙත්ස්ක් මහජන සමූහාණ්ඩුවේ” අනෙකුත් ප්‍රදේශයන් ද නිදහස් කරගැනීමට මෙහෙයුම් දියත් කරන බවයි. 2022 සැප්‍තැම්බරයේදී දන්යෙත්ස්ක් ප්‍රදේශය රුසියාවට ඈඳාගන්නා ලද බව එරට විසින් සඳහන් කෙරුණා. කෙසේ වෙතත් එක්සත් ජාතීන් විසින් සලකනු ලබන්නේ එය යුක්‍රේනයට අයත් භූමියක් ලෙසයි.