hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 03, ප.ව. 8:21



පසුගිය මාසයේ ඉන්දියාවේ පැවති ප්‍රාන්ත සභා මැතිවරණ පහකින් හතරක ඡන්ද ගණන් කිරීම අද ඇරඹුණා. එහිදී ලැබී ඇති ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂය මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් සහ චත්තිස්ඝර් යන ප්‍රාන්ත තුනේම මැතිවරණ ජයගෙන තිබෙනවා. කොන්ග්‍රස් පක්ෂයට දකුණුදිග ඉන්දියාවේ තෙලන්ගනා හි ජය හිමිවුණා.

මැතිවරණය අවසන් වූ පසු සිදුකරන ලද සමීක්ෂණ ගණනාවකින් ම පෙන්නුම් කළේ මධ්‍ය ප්‍රදේශයේ බීජේපීයට වාසිදායක තත්ත්වයක් තිබුණ ද අනෙක් උතුරු ඉන්දියානු ප්‍රාන්ත දෙකේ ඔවුන් පරාජය වීමේ ඉඩක් ඇති බවයි. කෙසේ වෙතත් දැනට ලැබී ඇති ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ එම ප්‍රාන්ත තුනේම ජය බීජේපීය වෙත ලැබී ඇති බවයි.

මේ අතර තෙලන්ගනා ප්‍රාන්තයේ බලය 2014 සිට හිමිව පැවති භාරත් රාෂ්ට්‍ර සමිති (කලින් තෙලන්ගනා රාෂ්ට්‍ර සමිති) පක්ෂය මෙවර මැතිවරණය පරාජය වී තිබෙනවා. ඒ අනුව කොන්ග්‍රස් පක්ෂය දකුණුදිග ඉන්දියාවේදී වැදගත් ජයග්‍රහණයක් ලබාගත්තා.

මිසෝරාම් ප්‍රාන්තයේ ඡන්ද ගණන් කිරීම අද සිදුවූයේ නැහැ. එහි විශාල ක්‍රිස්තියානි ජනගහනයක් වන අතර අද ඉරිදා දිනයක් බැවින් එම කටයුත්ත හෙටට කල් තබනු ලැබුණා.