hit counter

2026 මැයි මස 18 වන සඳුදා

2026 මැයි 17, ප.ව. 9:49



බොලීවියාවේ හිටපු ජනාධිපති ඊවෝ මොරාලේස් අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකානු බලධාරීන් සහ බොලීවියානු පොලිසිය ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වන්නේ යැයි තොරතුරු හෙළිවීමත් සමග මොරාලේස්ගේ ආධාරකරුවන් ඔහුගේ නිවහන අවට ප්‍රදේශයේ එක් රොක් වී සිටිනවා.

මේ වනවිට ඔවුන් ඒ ආසන්නයේ පිහිටි ගුවන් පථයක් ද අත්පත් කරගෙන සිටින බැව් වාර්තා වනවා.

ලතින් ඇමරිකාවෙහි මතුවූ වාමාංශික රැල්ල අතරවාරයේ 2006 දී බලයට පත්වූ මොරාලෙස් 2019 වනතෙක් බොලීවියාව පාලනය කළා. ඔහුට එරෙහිව දියත් වූ විරෝධතාවයන් අතරතුර සිදුවූ කුමන්ත්‍රණයකින් ඔහුව බලයෙන් නෙරපා හරිනු ලැබුණා. ඔහුගේ ආර්ථික සහ මුදල් ඇමති ලෙස කටයුතු කළ ලුවී අර්ස 2020 දී ජනාධිපති ධුරයට පත්වූ පසු මොරාලෙස් ආපසු සියරට පැමිණි නමුත් ඔවුන් අතර බල අරගලයක් නිර්මාණය වුණා.

මේ අතර මොරාලෙස්ට ගැහැණු දරුවකු අපයෝජනය කිරීම පිළිබඳ චෝදනා එල්ල වුණා. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර තම ආධාරකරුවන්ගේ රැකවරණය මැද ස්වකීය ගම් බද නිවසෙහි ඔහු ජීවත් වුණා.

2025 ජනාධිපතිවරණයේදී දක්ෂිනාංශිකයකු වූ ෆර්නැන්ඩෝ පැස් බලයට පත්වුණා. මේ අතර​, පසුගිය දිනෙක මොරාලෙස්ට අධිකරණයක් ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා තිබූ අතර ඔහු නොපැමිණි හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර තිබුණා. මොරාලෙස් අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකානු – බොලීවියානු ඒකාබද්ධ මෙහෙයුමක් පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ එම පසුබිමේ යි. වාර්තා වන පරිදි මෙම මෙහෙයුමට විරුද්ධ වූ බොලීවියානු පොලිස් නිලධාරියකු විසින් එම තොරතුරු සහිත ලිපි ලේඛන පිටකර තිබෙනවා.

පසුගිය දින කිහිපයෙහි බොලීවියාවේ ආකර කම්කරුවන් ඇතුලු විරෝධතාකරුවන් ෆර්නැන්ඩෝ පැස්ට එරෙහිව විරෝධතාවන් හි නිරත වනවා.