hit counter

2025 පෙබරවාරි මස 17 වන සඳුදා

2025 ජනවාරි 19, ප.ව. 1:00



මුරුසි දිවයිනට චාගෝස් දූපත් නැවත හිමිවන පරිදි වූ එකඟතාවයෙන් තාවකාලිකව ඉවත් වීමට බ්‍රිතාන්‍යය කටයුතු කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මුරුසියේ, බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ මතුවූ නව දේශපාලන තත්ත්වයන් බවයි සඳහන් වන්නේ.

දියේගෝ ගාර්සියා දිවයින ඇතුළු චාගෝස් කොදෙව් සමූහය 1965 දී මුරුසියෙන් වෙන් කර වෙනමම යටත් විජිතයක් බවට පත්කරනු ලැබුණා. එහි අරමුණ වූයේ දියේගෝ ගාර්සියාවෙහි හමුදා කඳවුරක් ඉදි කිරීමට ඇමරිකාවට අවස්ථාව ලබාදීමයි. මින් අනතුරුව චාගෝස් වැසියන් දියේගෝ ගාර්සියාවෙන් ඉවත් කරනු ලැබුණා.

චාගෝස් වැසියන් බලහත්කාරයෙන් පිටුවහල් කිරීම පිළිබඳ බ්‍රිතාන්‍යයට දෝෂාරෝපණ එල්ල වෙමින් තිබුණ අතර මුරුසිය පසු කලෙක කියා සිටියේ චාගෝස් දූපත් තම අයිතියෙන් ඉවත් කළේ බලපෑම් කිරීමෙන් පසුව බවයි. ඔවුන් ජාත්‍යන්තර යුක්ති අධිකරණයට පැමිණිලි කළ අතර එහි තීරණය 2019 දී ලැබුණේ මුරුසියට එම ප්‍රදේශය අයත් වියයුතු බව සඳහන් කරමින්.

බ්‍රිතාන්‍යයෙහි කොන්සර්වේටිව් ආණ්ඩු මෙම ප්‍රදේශය මුරුසියට යළි පවරාදීම ගැන එතරම් උනන්දු නොවුණත් ලේබර් ආණ් ඩුව බලයට පැමිණි පසු ඒ පිළිබඳ අවධානය යොමු කෙරුණා. ඒ අනුවයි දෙරට අතර මූලික එකඟතාවයක් ඇතිවූයේ. මෙහිදී දියේගෝ ගාර්සියා දූපතේ පාලනය අවුරුදු 99 ක බද්දකට යටත්ව බ්‍රිතාන්‍යය යටතේම පවත්වාගන්න එකඟ වූ අතර ඒ සඳහා බ්‍රිතාන්‍යය මුරුසියට ගෙවීමක් කිරීමට එකඟ වුණා.

නොවැම් බරයේදී මුරුසියෙහි පැවති මහ මැතිවරණයෙන් එවකට පැවති විපක්ෂය විශාල බහුතරයක් සමග ජයගත්තා. අලුත් ආණ්ඩුව කියා සිටියේ ගිවිසුමේ කොන්දේසි මුරුසියට අවාසි හෙයින් බදු කාලය අඩු කිරීමට සහ මුරුසියට ගෙවන මුදල වැඩි කිරීමට අවශ්‍ය බවයි.

මෙයින් පසු බ්‍රිතාන්‍යය තුළ මෙම එකඟතාව කෙරෙහි විශාල විරෝධයක් හටගත්තා. විශේෂයෙන්ම රිෆෝර්ම් UK පක්ෂය සහ කොන්සර්වේටිව් පක්ෂය ද දක්ෂිනාංශික කණ්ඩායම් ද එහි පෙරමුණේ සිටියා. මේ සමගම ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීමත් සමග එරට ද මෙම එකඟතාව කෙරෙහි විරෝධාකල්පයක් දක්වන බව පෙනීගොස් තිබෙනවා.

මේ අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව තීරණය කර ඇත්තේ ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වූ පසු මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමටයි.