hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 පෙබරවාරි 07, ප.ව. 11:51



පෙබරවාරි 25 වනදාට පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය මාස දහයකින් කල් දැමීම පිළිබඳව බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව විසින් සෙනගාලය විවේචනය කර තිබෙනවා.

සෙනගාල ජනාධිපති මැකී සාල් විසින් මෙම තීරණය ගන්නා ලද්දේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් පිළිබඳ ඇතිවූ මතභේදයන් හේතු කරගෙන බවයි පවසන ලද්දේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වූ අපේක්ෂකයන් කිහිපදෙනකුට අවසර නොදීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීරණය කර තිබුණා. මේ අතර ප්‍රකට විපක්ෂ ක්‍රියාධරයකු වන ඔස්මාන් සොන්කෝ සහ හිටපු ජනාධිපති අබ්දුලායේ වේඩ්ගේ පුත්‍ර කරීම් වේඩ් ද වනවා.

ජනාධිපතිවරණය කල් දැමීමට පාර්ලිමේන්තුව වෙත සඳුදා යෝජනාව ඉදිරිපත් කෙරුණ අතර විපක්ෂයේ විරෝධය මැද එය සම්මත කෙරුණා. විපක්ෂ මන්ත්‍රීන් සභාගැබෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ ද යොදනු ලැබුණා.

ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාවට එරෙහිව විපක්ෂය උද්ඝෝෂණ අරඹා තිබෙන අතර මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ලෙසයි ඔවුන් හඳුන්වා දෙන්නේ.