hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 7:14



නගර්නෝ-කරබාක් හි සිදුකළ “ජනවාර්ගික සුද්ධ කිරීමට” ප්‍රතිචාරයක් ලෙස ඊට සම්බන්ධ​ වූ අසර්බයිජාන බලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීමට යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 491 ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද නවයක් පමණයි.

මේ අනුව ආර්මේනියානුවන්ට එරෙහිව සිදුකළ මානව හිමිකම් කඩවීම්වලට වගකිව යුතු වන අසර්බයිජාන රජයේ සාමාජිකයන්ට එරෙහිව ඉලක්කගත සම්බාධක පැනවීමට ද නගර්නෝ-කරබාක් හි සිදුකළ, යුධ අපරාධ ගණයට වුවද සැලකිය හැකි ආකාරයේ අපරාධ පිළිබඳ විමර්ශන කිරීම සඳහා බල කිරීමට ද යුරෝපා පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.

නගර්නෝ-කරබාක් හි සිය පාරම්පරික ඉඩම්වලින් පළා යාමට සිදුවූ ආර්මේනියානු ජනවාර්ගිකයන් වෙත සිය සහයෝගය පළ කරන බව ද යුරෝපා පාර්ලිමේන්තුව කියා සිටියා.

පසුගිය මාසයේ අසර්බයිජානය විසින් සිදුකළ හමුදා ප්‍රහාරය සැලසුම් සහගතව සිදුකළ​, සැලකිය යුතු ජීවිත හානි ගෙන දුන්, අන්තර්ජාතික නීතිය සහ මානව හිමිකම් උල්ලංඝණය කළ ආකාරයේ ක්‍රියාවක් බව ද යුරෝපා පාර්ලිමේන්තුව පවසනවා.

එමෙන්ම ආර්මේනියාවේ ස්වෛරීභාවයට හානිකර වන, එහි භෞමික අඛණ්ඩතාව අභියෝගයට ලක් කරන ප්‍රහාරයක් සඳහා අසර්බයිජානය යොමු වුවහොත් එරටින් කෙරෙන තෙල් සහ ගෑස් ආනයනයන් නවතා දැමීමට ක්‍රියා කළ යුතු බව ද යුරෝපා පාර්ලිමේන්තුව පවසනවා.

යුරෝපයේ අන්ත දක්ෂිනාංශික කඳවුරේ පක්ෂ කිහිපයක්ම ආර්මේනියානුවන්ව නොසලකා හැරීම ගැන යුරෝපා සංගමයට දොස් පවරා තිබෙනවා. ප්‍රංශයේ ජාතික රැළිය පක්ෂයේ ජෝර්දන් බර්දෙලා චෝදනා කර සිටියේ යුරෝපයට ආර්මේනියානුවන්ගේ රුධිරයට වඩා අසර්බයිජානයේ තෙල් සහ ගෑස් වටිනා බවයි.