hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 දෙසැම්‍බර් 26, ප.ව. 3:10



House of Cards කතාමාලාවේ ෆ්‍රෑන්ක් අන්ඩර්වුඩ් චරිතය හේතුවෙන් ප්‍රසිද්ධියට පත්වූ කෙවින් ස්පේසි ජනාධිපතිවරණයට එක්වීම පිළිබඳ කිසියම් ඉඟියක් පළ කර සිටියා.

ඇමරිකාවේ කොන්සර්වේටිව් මාධ්‍යවේදියකු වන ටකර් කාර්ල්සන් සමග කළ සාකච්ඡාවකදී ස්පේසි කියා සිටියේ තමන් තරග වදින්නේ නම් එය ශ්‍රේෂ්ඨ දේශයක් වෙනුවෙන් තමන් සිදුකිරීමට කැමති කැපකිරීමක් බවයි. එමෙන්ම ළදරුවන් මෙන් ක්‍රියාකරන්නන් නොව වැඩිහිටියන් නායකත්වයට පැමිණිය යුතු බව ඔහු සඳහන් කළා.

මෙම සාකච්ඡාවට ඔහු එක්වූයේ ඔහුගේ ෆ්‍රෑන්ක් අන්ඩර්වුඩ් චරිතය රඟ දක්වන ආකාරයෙන් හෙයින් ඔහුගේ ප්‍රකාශය සත්‍ය වශයෙන්ම කළ එකක්ද නැතහොත් රඟපෑමක් පමණක් ද යන සැකය මතුව තිබෙනවා.

ඇමරිකාව අද පත්ව ඇති ස්ථානයට ප්‍රධාන හේතුව “බිය​, බිය සහ තවත් බිය​” බවයි ස්පේසි කියා සිටියේ. එමෙන්ම විවිධාකාර විකාර සහගත අදහස් පැතිරවීම පිළිබඳ ඉන්ටර්නෙට් බොට්වලට සහ විශ්ව විද්‍යාල සිසුවන්ට දෝෂාරෝපණය කිරීම නවතා දමා නායකයින්ට නායකයින් යනු කවුරුන් දැයි ඉගැන්විය යුතුව තිබෙන බවත් ඔහු කියා සිටියා.

රිපබ්ලිකන් පක්ෂයෙන් නාමයෝජනා සඳහා තරග කරන අපේක්ෂකයන් ගැන අදහස් දක්වමින් තමන් විවේක් රාමස්වාමි ගැන ප්‍රසාදයට පත්ව සිටින බවත්, නිකී හේලි ද ශක්තිමත් චරිතයක් බව පෙන්වමින් සිටින බවත් කියා සිටියා. නිකී හේලි තමන් නිරීක්ෂණයෙන් ද යම් යම් පාඩම් ඉගෙනගෙන ඇති බව පෙනෙන්නේ යයි ස්පේසි/අන්ඩර්වුඩ් සඳහන් කළා.

Netflix හි විකාශය වූ House of Cards කතාමාලාවේ ෆ්‍රෑන්ක් අන්ඩර්වුඩ් නම් දේශපාලකයා සටකපට කුමන්ත්‍රණයන් මගින් ඇමරිකානු ජනාධිපති ධුරයට පත්වන අයුරු සහ ඉන්පසු සිදුවන සිදුවීම් මාලාවක් පිළිබඳවයි. කෙසේ වෙතත් කතාමාලාව විකාශය වන අතරතුර ස්පේසිට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා එල්ල වූයෙන් ඔහුව එයින් ඉවත් කෙරුණා. පසුව එම චෝදනාවලින් ඔහුව නිදහස් කරනු ලැබුණා.