hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 7:25



ජර්මනියේ අන්ත දක්ෂිනාංශික පක්ෂයක් වන “ජර්මනිය සඳහා විකල්පය​” (AfD) පක්ෂයේ සම නායක ටීනෝ කෘපල්ලා බදාද දිනයේ හදිසියේ අසනීප තත්ත්වයකට පත්වූයේ කිසියම් ද්‍රව්‍යයක් සිරින්ජයක් මගින් සිරුරට ඇතුල් කිරීම හේතුවෙන් බව තහවුරු වී ඇතැයි එම පක්ෂය ඊයේ නිවේදනය කළා.

ඉරිදා පැවැත්වෙන බැවේරියානු ප්‍රාන්ත මැතිවරණයට පෙර ඉන්ගොල්‍ෂ්ටාඩ් නම් නගරයේ පැවති ප්‍රචාරක රැළියක, ඔහුගේ කතාව සිදුකිරීමට ස්වල්ප මොහොතකට පෙර කෘපල්ලා හදිසියේ රෝගාතුර වුණා.

ඔහුව නගරයේ රෝහලක දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කළ අතර ඔහුගේ තත්ත්වය ස්ථාවර බව දැනගන්නට ලැබෙනවා.

AfD පක්ෂය කියා සිටියේ ඔහුගේ දකුණු අතෙහි ඉහළ කොටසේ සිරින්ජයකින් ඇන තිබෙන බවට සලකුණු වන බවයි

පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කරන අතර CCTV කැමරා වාර්තා ද පරික්ෂා කරන බව සඳහන් කළා. එමෙන්ම එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් ලබාගත් වීඩියෝපට වේ නම් ඒවා ද තමන්ට ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කර තිබුණා.

මේ අතර මෙම සිදුවීමට දිනකට පෙර එම පක්ෂයේ අනෙක් සම නායිකාව වන ඇලිස් වීඩල් ද ආරක්ෂක හේතූන් මත ඇය සහභාගී වීමට සිටි උත්සව අවස්ථාවකට නොපැමිණෙන බව කියා සිටියා. එම තත්ත්වය ඇති වූයේ යාබද ස්විට්සර්ලන්තයේදී යි.

ජර්මනිය සඳහා විකල්පය පක්ෂය ජනමත සමීක්ෂණවල සැලකියයුතු ජනප්‍රියත්වයක් පෙන්නුම් කරනවා. බැවේරියාවේ සහ හෙසන් ප්‍රාන්තවල ඉරිදා පැවැත්වෙන මැතිවරණයේදී එම පක්ෂය සැලකියයුතු පෙරළියක් සිදුකරනු ඇතැයි විචාරකයන් අනුමාන කරනවා.