2025 අප්‍රේල් 22, ප.ව. 8:14
කතෝලික සභාවෙහි පාප් ධුරයෙහි තනතුර හොබවන්නා ස්වර්ගස්ථ වූ විට හෝ කලාතුරකින් සිදුවන පරිදි ඉල්ලා අස් වූ විට අලුතින් පාප්තුමකු තෝරාගන්නට සිදුවනවා.
පාප්තුමකු ස්වර්ගස්ථ වූ විට සාමාන්‍යයෙන් දින 15 ත් 20 ත් අතර කාලයක් තුළ මෙම ක්‍රියාවලිය ආරම්භ වනවා. ඒ සඳහා පාප්තුමකු තෝරාගැනීමට ඡන්දය දිය හැකි කාදිනල්වරුන් වතිකානුව වෙත පැමිණිය යුතු යි. කිසියම් කාලයක් ලබා දී ඇත්තේ එම පිරිසට පැමිණීම සඳහා යි.
මෙසේ ඡන්දය ලබාදිය හැකි කාදිනල්වරුන් පිරිස හෙවත් කාදිනල් සංඝය මූලික සාකච්ඡා පවත්වා සිය ක්‍රියාවලිය ආදිය පිළිබඳ එකඟ වනවා. ඉන්පසු සාන්ත පීතර බැසිලිකාවෙහි දේව මෙහෙයන්ට සම්බන්ධ වී ඉන් අනතුරුව සැන්ටා මාර්ටා ගෘහය වෙත පැමිණෙනවා. කොන්ක්ලාවා සමය තුළ ඔවුන් නතරව සිටින්නේ එහියි. එහි සිට ඔවුන් සිස්ටීන් දේවස්ථානයට රැගෙන යන්නේ දැඩි ආරක්ෂාව සහිතවයි. පාප්තුමා තෝරාගැනීමට පාපල් කොන්ක්ලාවා රැස්වීම වන්නේ එහිදීයි.
ඡන්දය පැවැත්වෙන කාල සීමාව තුළ එම පිරිසට එම ගෘහයෙන් පිටතට පැමිණීමට නොහැකියි. එමෙන්ම ඔවුන් රැස්වීමට පෙර එහි කිසියම් ශ්‍රවණ උපකරණ ආදිය වේ දැයි පරීක්ෂා කෙරෙනවා. ඒ සඳහා කටයුතු කරන්නේ පාප්තුමාගේ ස්විස් ආරක්ෂක භටයන් සහ වතිකානු ජෙන්ඩාමරිය විසින්. ස්විස් ආරක්ෂක භට හමුදාව 1506 දී ස්ථාපිත කරන ලද්දක්. වර්තමානයේ ඊට ත්‍රස්ත විරෝධී මෙහෙයුම්, බෝම්බ නිශ්ක්‍රිය කිරීම, ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම ආදී විවිධ ක්ෂේත්රයන් හි පුහුණුව ලැබෙනවා. ජෙන්ඩාමරිය සාමාන්‍ය පොලිස් කටයුතු මෙහෙයවන අතර ඉතාලි ආරක්ෂක අංශයන් හා එක්ව වතිකානුවේ දේශසීමා ආරක්ෂා කරනවා. එමෙන්ම වර්තමානයේදී ඔවුන් ඩ්‍රෝනයන් වෙතින් ආරක්ෂාව ආදිය ද සපයනවා.
රැස්වීම හෙවත් කොන්ක්ලාවාව පැවැත්වෙන සමය තුළ කාදිනල්වරුන්ට ආහාර පාන සහ අනෙකුත් අවශ්‍යතා වේ නම් ඒවා සැපයීම කෙරෙන්නේ වතිකානු කාර්යය මණ්ඩලය විසින්. ඔවුන්ට එම කාර්යය කෙරෙන අතරතුර කිසිවකු හා කතාබහ කිරීම ද තහනම්. කොන්ක්ලාවා හි පරිපාලන කටයුතු ආදිය කාදිනල් කැමර්ලැන්ගෝ ඇතුලු වතිකානු කාර්යය මණ්ඩලයේ ප්‍රධානීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවනවා.
ඡන්දය ප්‍රකාශ කිරීමට බලය තිබීමට කාදිනල්වරයාට අවුරුදු 80 ට වඩා වයස අඩු විය යුතුයි. එමෙන්ම තමන් සඳහාම ඡන්දය ලබාදීම තහනම්.
ඡන්දය ප්‍රකාශ කෙරෙන්නේ තුණ්ඩුවක නම ලිවීමෙන්. ඒවා බන්දේසියකට එක් කෙරෙනවා. ඡන්දය ගණිනු ලබන්නේ ඡන්ද ප්‍රකාශයට පෙර අහඹු ලෙස තෝරාගන්නා කාදිනල්වරුන් තිදෙනකු විසින් බව සඳහන්.
ඡන්ද විමසීමෙන් පසු ඡන්දය ගණන් කෙරෙන අතර එහිදී කිසියම් අයකුට තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇත්නම් ඔහු පාප්තුමා ලෙස පත් කරගනු ලබනවා. එසේ නොලැබුණොත්, එම ඡන්ද තුණ්ඩු සියල්ල එක්කර රසායන ද්‍රව්‍යයක් සමග ගිනි තබනවා. එවිට චිමිනියෙන් කාලවර්ණ දුමාරයක් පිටවන අතර පාප් ධුරය තවමත් පුරප්පාඩු බව පිටත රැස්ව සිටින්නන් දැනගන්නවා.
කිසියම් අයකුට තුනෙන් දෙකක ඡන්දයක් ලැබෙන තෙක් ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඒ සෑම විටෙකම අසාර්ථක ඡන්ද විමසීම් අවසනදී ඒ බව පිටත සිටින්නන් දැනගන්නේ කාලවර්ණ දුමාරයෙන්.
නමුත් කිසියම් අයකු තුනෙන් දෙකක ඡන්දය ලැබූයේ නම් එම තුණ්ඩු එක් කර වෙනත් රසායනිකයක් සමග ගිනි තබනවා. එවිට පිටවන්නේ සුදු දුමාරයක්.
එයින් ස්වල්ප වෙලාවකට පසු නව පාප්තුමා වතිකානුවේ සඳළු තලයට පැමිණ පිටත රැස්වූවන් ඉදිරියේ පෙනි ඉසිටිනවා. පාප්තුමාගේ පාප් නාමය ද එහිදී ප්‍රසිද්ධ කෙරෙනවා.
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:12
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58